2018 ජුලි 07 වන සෙනසුරාදා

නජීබ් රසාක්ට ඇප

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

මීට මාස දෙකකට ඉහතදී මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පවරනු ලැබ තිබූ නඩු විභාගයෙදී ඔහුට ඇප ලැබුණි. බදාදා අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු අගමැතිවරයා, සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනා තුනකට සහ බලය අයුතු ලෙස යොදා ගැනීමේ චෝදනාවට නිවැරදිකරු බව කියා සිටියේය. ඉන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරිණ.

පසුගිය මැයි මාසයේ පැවැත්වූ මහ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලදී. ඔහු විසින් පිහිටුවන ලද රාජ්‍ය අරමුදලකින් ඩොලර් මිලියන 700ක් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. එම අරමුදලට ලැබුණු තවත් ඩොලර් බිලියන ගණනක් ගිණුම්වලට ඇතුළත් කර නොමැත.

හිටපු අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ රොස්මා මැන්සෝ සතුව තිබූ ඩොලර් මිලියන 273ක් පමණ වටිනා ආභරණ, අත් බෑග් සහ මුදල්ද පොලීසිය භාරයට ගෙන තිබිණි. ඒ අතර ඩොලර් මිලියන 1.6ක රන් සහ දියමන්ති මාලයක්, කුඩා ඔටුනු 14ක් සහ හර්මීස් (Hermes) වර්ගයේ අත්බෑග් 272 තිබී ඇත. මැලේසියානු ඉතිහාසය තුළ අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමක් ඇති භාණ්ඩ තොගය මෙය වන බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගනු ලැබූ භාණ්ඩ අතර ආභරණ 12,000ක් තිබූ අතර, ඩොලර් මිලියන 1.6ක රන් මාලය ඒ අතුරෙන් වඩාත්ම මිල අධික භාණ්ඩයයි.

ඔහුට එරෙහිව එල්ල වී තිබෙන සෑම චෝදනාවකටම වසර විස්සක් දක්වා වූ සිරදඬුවමක් පැනවීමේ හැකියාව තිබේ. නජිබ් රසාක්ට එරෙහිව නැගුණු දූෂණ චෝදනා ඔහුගේ මැතිවරණ පරාජයට ප්‍රධානතම හේතුවක් විය. ඔහු එම චෝදනා සියල්ලක්ම ප්‍රතික්ෂේප කරන අතර, ඔහු බලයේ සිටියදී මැලේසියානු බලධාරීන් විසින් ඔහු එම චෝදනාවලින් නිදොස් කරන ලද නමුත් ඔහුට එරෙහිව වෙනත් රටවලද තවමත් පරීක්ෂණ පැවැත්වේ.

 

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30