2018 ජුලි 07 වන සෙනසුරාදා

අමෙරිකාවේ නිදහස දා ට්‍රම්ප් ජෝකර්ට ඇඳියි

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

අමෙරිකාවේ නිදහස් උළෙල අතර මහත් කලබැගෑනියක් සිදුවිය. ඒ ලෝක ප්‍රකට නිදහස් ප්‍රතිමාව අබියසදීය. ට්‍රම්ප්ගේ සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති විවේචනය කරමින් 43  හැවිරිදි සංක්‍රමනික කාන්තාවක් නිදහස් ප්‍රතිමා පාදමට ගොඩ වී පැය 6ක විරෝධයක් පෑමෙනි. ඇය නිදහස් ක්‍රියාකාරිණියක් වන පැට්‍රීසියා ඔකෝමෝ නමැත්තියකි. සියලුම සංක්‍රමණික දරැවන් මුදාහරිනතුරැ පහළට නොබසින බව කියමින් ලිබර්ටි ප්‍රතිමාවේ පාවහන යට ඉඳගත් ඈ බිමට ගන්නට නගරයේ හදිසි සේවා ඒකකයේ  නිලධාරීන් 16ක්  අවශ්‍ය විය.

මල්වෙඩි ගිනිකෙළි සංගීත සංදර්ශන මැද උලෙළ සමරද්දී ලන්ඩන් ඩේලිනිවුස් මෙට්රෝ පුවත්පත ජනාධිපති ට්‍රම්ප් විගඩමෙකුට ඇන්දුවේය. වසර 242කට පෙර මේ ජාතිය ගොඩනැංවූ මූලික හරය රජ පාට් දමන විගඩමෙකුට වැනසිය නොහැකි බව එහි  කවරයේ සඳහන් කර තිබුණි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් එරට දස දහස් සංඛ්‍යාත ජනතාවක් වීදි බැස තිබුණි. මෙක්සිකෝ දේශසීමාවේදී දරුවන් 2000කට අධික සංඛ්‍යාවක් සිය දෙමව්පියන්ගෙන් වෙන්කිරීමට ගත් තීරණය එම විරෝධතාකරුවන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබුණි. එසේම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන “අයිස්” ලෙස හැඳින්වෙන සංක්‍රමණික සහ රේගු බලාත්මක ඒජන්සිය විසිරැවා හරින ලෙස විරෝධතාකරුවෝ හඬ නගා කියා සිටිති.