2018 ජුනි 30 වන සෙනසුරාදා

ජපන් යානය ග්‍රහකයකට කිට්ටු කරයි

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

වසර තුනහමාරකට පෙර අභ්‍යාවකාශ ගත කෙරුණු හයබූසා2  නම් ජපන් රොබෝ  අභ්‍යවකාශ ශටලය පසුගිය බදාදා එහි ඉලක්කය වෙත ළඟා වීය. 2014 වර්ෂයේදී ටනෙගෂිමා ගුවන් කඳවුරෙන් උඩු ගුවනට ගමන් කළ යානය සැතපුම් බිලියන 2ක් දුර ගෙවා එහි එල්ලය දියමන්ති හැඩැති රයුගු නම් ඇස්ටරොයිඩය හෙවත් ග්‍රහකය වෙත සාර්ථකව ළඟාවී ඇත. මේ වනවිට ග්‍රහකය සැතපුම් මිලියන 177ක් ඇතින් පිහිටා තිබේ. යානය එයට සැතපුම් 13ක් බදාදා දින එයට කිට්ටු කළේය. මේ ග්‍රහකය තමන් වටා සැම පැය 7.6 වරක් කැරැකෙන අතර සූර්යයා වටා යාමට වසරකුත් මාස තුනක් ගතකරයි. එහි ගුරුත්ව බලය පොළවේ මෙන් 60000 වාරයක් දුර්වලය.  

රයුගු වෙත ළඟාවී එය ගවේෂණය කිරීමත් එහි පාෂාණ කොටස් සහ පස් පෘථිවියට රැගෙන ඒමත් අභ්‍යාවකාශ ශටලයට පැවරී ඇත. ඇස්ටරොයිඩයේ පෘෂ්ඨය විදීමට ලක්කර එහි වඩාත් ගැඹුරින් පිහිටි කොටස් පිටතට ගැනීමට සැලසුම් කර ඇති බව ජපාන මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. මෙහිදී පිපිරීමක් සිදුකර කුඩා ආවාටයක් සෑදීමටද නියමිතය. මෙම ග්‍රහකය අධ්‍යයනය කිරීම සඳහා ෂටලය අවුරැදු එකහමාරක කාලයක් එහි රුඳෙනු ඇති බව ඔහු පවසයි. හයබූසා 2020 වර්ෂයේදී නැවත පෘථිවියට ළඟාවීමට නියමිතය.