2018 ජුනි 23 වන සෙනසුරාදා

මානව හිමිකම් මණ්ඩලේ කචල්!

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51


ලෝකයේ සෑම අස්සක මුල්ලකම ඇති රටවල මානව අයිතිය ගැන කතාකරන අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය දේශපාලනනික වශයෙන්  පක්ෂග්‍රාහි ජරා එකතුවක්* බව පවසමින් ඉන් ඉවත්වන බව නිවේදනය කළේය. කුහක සහ ආත්ම ලාභය වෙනුවෙන්  පමණක්  ක්‍රියාකරන මානව හිමිකම් මණ්ඩලය මානව හිමිකම් විහිලුවකට ලක්කර තිබෙනවා යැයි එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජිතවරිය වන නිකී හීලි සඳහන් කර තිබුණි. ඒ අනුව මානව හිමිකම් මණ්ඩලය තුළ සිය 19 වසරක සාමාජිකත්වයෙන් අමෙරිකාව සමුගෙන තිබේ. විය යුතු සේම අමරිකාව එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල විරෝධය ගැන නෝක්කාඩු ඉදිරිපත් කරද්දී එක්සත් ජාතීන් කංකෙඳිරි ගාන්නේ අමෙරිකාව පොදු සහයෝගීතාව බිඳ හෙලමින් තනි අලියකු ලෙස ක්‍රියාකරන බවටය.

මුලින් පැවති මානව හිමිකම් කොමිසම වෙනුවට 2006දී පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතීන්ගේ මෙම  මානව හිමිකම් මණ්ඩලය පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේය. රටවල් 47ක් එහි සාමාජිකත්වය හොබවති. මෙම ආයතනයට එරෙහිව මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටලු සහිත රටවලට එහි සාමාජිකත්වය දැරීමට අවස්ථාව සැලසීම පිළිබඳව විවේචන එල්ල වී තිබේ. එහෙයින්ම ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයාගේ පාලන සමය තුළද ඇමෙරිකාව හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අතර මෙවැනි මතභේද හටගත් අතර වසර තුනක් ඇමෙරිකාව එය වර්ජනය කළේය. ඊට පසුව බැරුක් ඔබාමා පාලනය යටතේ නැවත ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්වූයේ 2009 අග භාගයේදීය. ඇමෙරිකාව මීට ඉහත අවස්ථා ගණනාවකදී කියා සිටියේ ජිනීවාහි සිට ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යම් ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බවයි. එසේ නොකළහොත් තවදුරටත් ඇමෙරිකාවට එහි සාමාජිකත්වය දැරීමට නොහැකි බවද අවධාරණය කර සිටියේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කලක සිටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එහි බොහෝ සංවිධාන විවේචනය කළ අතර ඊට එරෙහි බරපතළ චෝදනා ද එල්ල කළ අයෙකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම ස්ථාවරය, ලොවපුරා මානව හිමිකම් කඩවීම් නිරීක්ෂණය සම්බන්ධ කටයුතුවලට බලපෑමක් ඇතිකරනු ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති. එය අඩු වැඩි වශයෙන් ලංකාවටද බලපාන්නකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් නිවේදනයක් නිකුත් කරමින්, ඇමෙරිකාව තවදුරටත් මානව හිමිකම් මණ්ඩලයේ රැඳී සිටින්නේ නම් තමා වඩාත් කැමැති්‍ බව ප්‍රකාශ කර තිබේ. මෙය කලකිරවන සුළු සහ මවිත කරවන සුළු පුවතක්* බව මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී සෙයිඩ් අල් හුසේන් පවසා තිබුණි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට අමෙරිකාව ගත් තීරණය සම්බන්ධයෙන් චීනයද සිය ප‍්‍රතිචාරය වහා දැක්විය. චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පවසා ඇත්තේ අමරිකාව ගත් තීරණය සම්බන්ධයෙන් සිය රට කනගාටු වන බවය.

මෙම තීරණය හේතුවෙන් මානව හිමිකම් වෙනුවෙන් සටන් වදින්නෙකු ලෙස අමරිකාව ගොඩ නඟාගෙන තිබූ ප‍්‍රතිරෑපයද බිඳ වැටී ඇති බව චීනය කියයි. කෙසේ වෙතත් සිය රට තවදුරටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සියලු පාර්ශව සමග කටයුතු කරන බවද චීනය තහවුරු කළේය. ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීමට සිට රට බැඳී සිටින බව චීනය වැඩිදුරටත් කීය. මේ අතර ඊශ්‍රායලය ඇමෙරිකාවේ තීරණය ඉත ඉහළින් අගය කර තිබුණි.

මෙම තත්ත්වය උදාවීමට ආසන්න හේතුවක් වූයේ ඇමෙරිකා - මෙක්සිකෝ දේශ සීමාවේදී ළමා සංක්‍රමිකයන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කිරීමට ජනපති ට්‍රම්ප් ගෙන ආ නව ප්‍රතිපත්තිය මතය. එය මානව හිමිකම් කොමසාරිස් හුසේන් විග්‍රහ කර තිබුණේ අයුක්තිසහගත කටයුත්තක් ලෙසටය. මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් ඇමෙරිකාව එහිදි දැඩි විවේචනයට ලක්කළේය. පසුව ට්‍රම්ප් විධායක නියෝගයක්  මගින් ඉකුත් සතිය මැදදී මේ නියෝගය අකුලා ගත්තේය.

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00