2018 ජුනි 23 වන සෙනසුරාදා

නවසීලන්ත අගමැතිනියට කම්බායක්

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන් ඇගේ පළමු දරු ප්‍රසූතිය පසුගිය සතියේ සිදු කළාය. මේ සමඟ තම ධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් කළ ලොව දෙවෙනි නායිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වේ. පළමු තැනැත්තිය පාකිස්තාන අගමැතිනියව සිටි බෙනාසීර් භූතෝය. ඒ 1990දීය.

දරු ප්‍රසූතිය සඳහා නියම කළ දිනයට දින හතරකට පසු ඉකුත් බ්‍රහස්පතින්දා (ජූනි 21) අලුයම ඇය ඕක්ලන්ඩ් නගරයේ රෝහලකට ඇතුළත් කරන ලද අතර, එහිදී කිලෝ 3.31ක් බරුති දියණියක් බිහි කළාය.

37 වියැති ජසින්ඩා සති හයක ප්‍රසූත නිවාඩු ලබාගනු ඇත. නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස්ට අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරි මේ වනවිට පවරා ඇත. කෙසේ නමුත්, ප්‍රසූත නිවාඩු සමයේදීත් තමන් කැබිනට් පත්‍රිකා පරීක්ෂා කරමින් දිගටම මූලිකත්වය ගෙන කටයුතු කරන බව ඇය පවසා තිබේ. අගමැතිනී ජසින්ඩා ආඩෙන් තම ප්‍රසූතිය පිළිබඳ පුවත මුලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ අතර එමගින් රෝහල් කාර්ය මණ්ඩලයට ඇගේ ප්‍රශංසාව පුදකර තිබිණි.

ජසින්ඩා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තෝරා පත්කර ගන්නා ලද්දේ ඔක්තෝබර් මාසයේදීය. ඇය සහ ඇගේ සහකරු ක්ලාර්ක් ගෙෆොර්ඩ් දරුවෙක් අපේක්ෂාවෙන් පසුවන බව ජනවාරි මාසයේදී නිවේදනය කළේය. වැඩ කීපයක් එක විට කරන පළමු කාන්තාව මම නොවේ. සේවය කරමින් දරැවන් ලද පළමු කාන්තාවද නොවේ. මීට පෙර මේ දෙයම කළ කාන්තාවන් බොහොමයක් ඉන්නවා ඇය මේ වසර මුලදී නවසීලන්ත ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවකදී පැවසුවාය.

අගමැති තනතුර සඳහා 1856න් පසුව නවසීලන්තය තෝරා පත්කරගත් ලාබාලතම පුද්ගලයා ජසින්ඩා ආඩෙන්ය. තෙවසරක් නවසීලන්තයේ විපක්ෂනායක පදවිය හෙබැවූ 37 හැවිරිදි මෙම ලේබර් පක්ෂ නායිකාව 1856න් පසුව රටේ නායකත්වයට පත්වෙන ලාබාලම පුද්ගලයාය.

ජසින්ඩා සිය තරුණ වියේ පටන්ම වාමාංශික දේශපාලනයේ නිරතව සිටියාය. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ගේ දේශපාලන උපදේශිකාවක ලෙසින්ද කටයුතු කළාය. 2008දී ඇය මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ 28 හැවිරිදි වියේදීය. අසමානතාව තුරන් කිරීම, පහසු මිලට නිවාස ලබාදීම සහ ශිෂ්‍ය ණය ගැටලුවට විසඳුම් ඇගේ මැතිවරණ පොරොන්දු අතර වේ. ස්ත්‍රීවාදය සහ මානසික රෝගීන් වෙනුවෙන් හඬ නගන්නියක ලෙස ඇය ප්‍රසිද්ධය.