2018 ජුනි 23 වන සෙනසුරාදා

ලෝක වෙළෙඳ යුද්ධය ඇරඹේ

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 212

ලෝක බලවතුන් අතර වන වාණිජ යුද්ධය තවදුරටත් ත්‍රීව්‍ර වී තිබේ. ඒ, අමෙරිකාව චීනයට එරෙහිව නව තීරැ බදු පැනවීමත් සමගිනි. අමෙරිකාව ආනයනය කරන චීන නිෂ්පාදන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් නව ආනයන බද්දක් පැනවීමට පියවර ගැනීමත් සමග මේ කලබැගෑනිය හටගෙන ඇත. චීනය පසුගියදා අමෙරිකාවට එරෙහිව පැනවූ බිලියන 60ක ආනයන බද්දට එකට එක කිරීමේ තවත් පියවරක් ලෙස 10%ක ප්‍රතිශතයකින් යුත් මෙම නව තීරු බද්ද ක්‍රියාත්මක කර ඇත. 

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චීන නිෂ්පාදන සඳහා නව තීරැබදු පැනවීමට තමන් සූදානම් බවයි. නව තීරැබදු පැනවිය යුතු චීන නිෂ්පාදන හඳුනාගන්නා ලෙස සිය වෙළෙඳ නියෝජිතයින්ට දැනුම් දී ඇති බවද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. අමෙරිකානු ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ චීනය සිය තීරැබදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් නීතිමය ක්‍රියාවලිය අවසන් වූ වහාම නව තීරුබදු පැනවීම ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර අමෙරිකාවට එරෙහිව නව තීරුබදු පැනවීමට යුරෝපා සංගමයද සූදානම්ව ඇත. එම සංගමයේ ඉහළ පෙළේ නිලධාරිනියක් උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසන්නේ ඉකුත් සිකුරාදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි. යුරෝපයෙන් සිදු කරන ඇලුමිනියම් හා වානේ සඳහා නව තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් කටයුතු කර තිබුණි. ඊට ප‍්‍රතිචාර ලෙස  යුරෝපා සංගමය ද මෙලෙස අමෙරිකාවට එරෙහිව නව තීරුබදු පැනවීමට සූදානම්ව ඇත. ඒ අනුව අමෙරිකාවෙන් යුරෝපයට ආනයනය කරන ඩෙනිම් කලිසම්, යතුරැපැදි, ආහාර වර්ග කිහිපයක් සහ මත්පැන් වර්ගයක් සඳහා නව තීරුබදු පැනවෙනු ඇත. අමෙරිකන් භාණ්ඩ සඳහා බදු පැනවීමට ඉන්දියාවද තීන්දු කර තිබුණි. මේ බදු තරගය දැන් වෙළෙඳ යුද්ධයකට මග පාදා හමාරය.