2018 ජුනි 02 වන සෙනසුරාදා

කිම්-ට්‍රම්ප් හොඳහිත නැවතත්

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

මතභේදාත්මක තත්වයන් පැවතියද උතුරු කොරියාව විවෘත ලෙස මිතුරු බව පළකිරීම හේතුවෙන් නැවත වරක් සාකච්ඡා පැවැත්වීම පිළිබඳ අවධානය යොමුකරන බවත් එය තීරණය කර තිබූ පරිදි ජූනි 12 වනදා සිංගප්පූරුවේදී සිදුවිය හැකි බවත් ට්‍රම්ප් කියා ඇත. පසුගිය 24 වැනිදා ට්‍රම්ප් විසින් සාකච්ඡා අවලංගු කරන බව පවසා සිටියද, උතුරු කොරියාවට අවශ්‍ය ඕනෑම මොහොතක මාධ්‍ය ඔස්සේ හෝ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව දැන් ඔහු ප්‍රකාශ කර තිබේ.

එසේම න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හැරීම තහවුරු කරමින් උතුරු කොරියාවේ පන්ගී රී හි පිහිටි න්‍යෂ්ටික අත්හදා බැලීමේ මධ්‍යස්ථානයක් පසුගියදා පුපුරුවා හැරීමත් ට්‍රම්ගේ මතය වෙනස් වීමට හේතු වී තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් අතර සෙනසුරාදා අනපේක්ෂිත හමුවක් සිදුවිය. කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන් න්‍යෂ්ටික අවිවලින් තොර කිරීම සඳහා කැපවන බව උතුරු කොරියානු නායකයා එහිදී යළි අවධාරණය කළ බව ජනාධිපති මූන් පැවසීය.

උතුරු කොරියාවට කිසියම් දිනක මහා ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමේ හැකියාව පවතින බව සඳහන් කරමින් ජනාධිපති ට්‍රම්ප් ඉරිදා (මැයි 27) ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. දකුණු කොරියාවේ හිටපු තානාපතිවරයෙකු වන සුන්ග් කිම් සාකච්ඡාව මෙහෙයවීමට නියමිතය. ට්‍රම්ප් - කිම් හමුව සඳහා න්‍යාය පත්‍රයක් සැකසීම මේ  සාකච්ඡාවල අරමුණය.

සැලසුම් කළ පරිදි සාකච්ඡාව සිදුවනු ඇති බවට බලධාරීන් මේ වනවිට සුබවාදීව පසුවන අතර එසේ වුවත් ඉතා සීඝ්‍රයෙන් සබඳතා වෙනස් විය හැකි බව මෑත සති කීපයේ සිදුවීම්  සනාථ කර තිබේ. න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් අත්හැර දැමීම සම්බන්ධයෙන් නායක කිම් එකඟතාවකට පැමිණෙයිද නැද්ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත. අතීතයේදී ලබාදුන් ඒ හා සමාන පොරොන්දු ඒ ආකාරයෙන් පැවතී නොමැත. පළමුව න්‍යෂ්ටික අවි අත්හැර දැමීම ඇමරිකාවේ අවශ්‍යතාව වී ඇති බව පවසන විශ්ලේෂකයෝ ඊට ඇගයීමක් වශයෙන් උතුරු කොරියාව මත පනවා ඇති සම්බාධක සහ ආර්ථික ආධාර කප්පාදු ඉවත් කරනු ඇති බවට මත පළ කරති.