2018 ජුනි 02 වන සෙනසුරාදා

මිනිත්තුවෙන් වීරයෙක් වූ ප්‍රංශ ස්පයිඩර්මෑන්

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

ප්‍රංශ සංක්‍රමණිකයකු පසුගිය සතියේ මුළු ලොව අවධානය පැහැරගත් වීරවරයෙකු බවට පත්විය. පැරිස් අගනුවර ගොඩනැගිල්ලක හතර වන තට්ටුවේ සිට පහතට වැටෙන්නට ගිය කුඩා දරුවෙකු බේරාගත් ඔහුට පුරවැසිභාවය ලබාදීමට ප්‍රංශ ආණ්ඩුව කටයුතු  කළේය. එදාවේල සොයමින් ප්‍රංශ වීදි ඔස්සේ මෙතෙක් ඇවිද ගිය ඔහුට එරට ගිනි නිවන හමුදාවේ ස්ථීර රැකියාවක්ද හිමිවිය. 

මහපාරෙ ඇවිද යද්දී කල්ලි ගැසී ඉහළ බලා ඝෝෂා නඟන පිරිසක් දුටු ඔහු මඳක්  නැවැතී ඔවුන් අනුව ඉහළ බැලූ විට දුටුවේ සඳලු  තලයක වැටක එල්ලී ඇද වැටෙන්නට යන දරුවෙකි. දෙවරක් නොසිතාම සැ‍ෙණකින් ඉහළ නැග දරුවා බේරාගත් මැමූඩෝ ගස්සාමා නම් වූ මෙම මාලි ජාතික සංක්‍රමණිකයා එක් මොහොතකින් වීරයෙකු ලෙස රට තුළද සෙසු ලෝකයාගේද දැඩි ප්‍රසංශාවට ලක්වූයේ “ප්‍රංශයේ ස්පයිඩර්මෑන්” යන විරුදාවලියද ලබමිනි. 
සර්කස්කරුවෙකු සේ මහල් හතරක් ඉහළට පැන පැන යමින් ඔහු දරුවා බේරාගන්නා   අයුරු දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී. සඳලුතලයේ එල්ලී සිටි දරුවා බේරාගැනීමට අසල්වැසියෙකු උත්සාහ කරමින් සිටිද්දී ඔහු මිනිත්තුවකට අඩු කාලයක දී පහළ මාලයේ සිට සඳළුතලවලින් පැන සිව් වන මහලට ගොස් දරුවා බේරාගන්නා ඇඟ කිලිපොලා යන දසුන එහි සටහන්ව තිබේ.   

දරුවා බේරාගත් සංක්‍රමණිකයා එල්සී මාලිගාවේ සිය නිල නිවසට කැඳවූ ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් ඔහුට පෞද්ගලිකව ස්තුති කළේය. පැරිස් නගරාධිපතිනිය වන ඈන් හිදල්ගෝද විසි දෙහැවිදිරි මාලි තරුණයාගේ ක්‍රියාව අගයමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ අතර, ඇය ඔහුට පෞද්ගලික දුරකථන ඇමතුමක්ද ලබා දී ස්තුති කිරීමටද කටයුතු කර තිබුණි.

 

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30