2018 මැයි 26 වන සෙනසුරාදා

ඉන්දියාවේ බේත් නැති වෛරස් මාරකේ!

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

වවුලන් ඇතුළු ක්ෂීරපායී සතුන්ගෙන් මිනිසුන්ට බෝවන මාරාන්තික වෛරසයක පැතිර යාම හේතුවෙන් ඉන්දියාවේ කේරල ප්‍රාන්ත්‍රය කැළඹී ගියේය. නිපා නැමති වෛරසය ප්‍රමාණයෙන් විශාල වෛරස ගණයට අයත්ය. මෙතෙක්  එන්නතක් සොයා  ගෙන නැති මෙම රෝගයට බිලිවීමෙන් මේ  වන විට 10 දෙනකු මියගොස්  ඇත. වෛරසය ශරීරගත වීමෙන් හටගන්නා රෝග ලක්ෂණ සහිත තවත් විසිපස් දෙනකු රෝහල්ගත කරනු ලැබ තිබේ. වෛරසයෙන් මියගිය පුද්ගලයන් ජීවත් වූ නිවසක ළිඳේ තිබී වවුලන්ගේ මළකුණු සොයා ගෙන තිබේ. මේ සිරුරු පරීක්ෂාවට යොමුකර  ඇත.  

සීඝ්‍රව පැතිරීමේ අවදානමක් පවතින මාරාන්තික රෝග දහය අතුරින් ඉහළින්ම තිබෙන්නේ නිපා වෛරසය බව ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තිබේ. නිපා නමින් හැඳින්වෙන මෙම වෛරසය ශරීරගත වූ පුද්ගලයකුට ප්‍රතිකාර කළ හෙදියක ද එම රෝගය වැළඳීමෙන් මිය ගොස් ඇති බව කේරළ සෞඛ්‍ය ලේකම් රජීව් සදානන්දන් සඳහන් කළේය.

කර්නාටකය, තෙලන්ගානා, අන්ද්‍රා ප්‍රදේශ්, රාජස්තාන්, මධ්‍ය ප්‍රදේශ් සහ ඇසෑමය  ආශ්‍රිතව මෙය පැතිර යාමට ඉඩ ඇතැයි අනතුරු අඟවා ඇත. මෙම වෛරසය ප්‍රධාන වශයෙන් පලතුරු ආහාරයට ගන්නා වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව හඳුනාගෙන තිබේ. වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් තිදෙනෙක් සිටි නිවසක තිබී වවුලන් ආහාරයට ගත් අඹ ගෙඩි කීපයක් සොයාගත් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

1999 දී ප්‍රථම වරට හඳුනාගත් මෙම වෛරසය, මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ගොවියන් සහ ඌරන් රැක බලා ගත් පුද්ගලයන් අතර බහුලව පැතිර ගියේය.

එවර 300කට ආසන්න පුද්ගලයන් ප්‍රමාණයක් මෙම වෛරසය හේතුවෙන් රෝගී වූ අතර, එයින් සිය දෙනකු මියගොස් තිබුණි. වෛරසය පැතිරීම වැළැක්වීම සදහා ඌරන් මිලියන ගණනක් මරා දැමුණු බැවින් මැලේසියාවේ මාංශ කර්මාන්තයට දැඩි පාඩු සිදු විය.

වෛරසය පැතිරෙන ප්‍රදේශවල සිටින රෝගී වූ ඌරන් සහ වවුලන් මඟ හැරීමෙන් මෙන්ම ගෙඩියේ තිබිය දී පොල් වතුර පානය නොකිරීමෙන් නිපා වළක්වා ගත හැකිය.

උණ, හිසේ රුදාව, ක්ලාන්ත ගතිය, හුස්ම ගැනීමේ අපහසුව සහ මානසික ව්‍යාකූලතාව මෙහි රෝගී ලක්ෂණ වේ. මෙකී රෝගී ලක්ෂණ පෙන්නුම් කර පැය 24ත් 48ත් කාලයක් තුළ පුද්ගලයකු කෝමා තත්ත්වයට පත් වෙයි.

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30