2018 මැයි 26 වන සෙනසුරාදා

ජාකර්තා ගිලා බසියි!

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 208

ඉන්දුනීසියාවේ අගනුවර, මේ වන විට ලෝකයේ වේගයෙන්ම ගිලා බසින නගරය බවට පත්ව ඇත. එය ඉතා සීඝ්‍රයෙන් ගිලා බසිමින් ද මුහුදු ජලයෙන් යටවෙමින් ද පවත්නා බව පර්යේෂණ මඟින් තහවුරු කර තිබේ.

ජාකර්තාහි උතුරු දිග ඇතැම් ප්‍රදේශ වසරකට සෙන්ටිමීටර 25ක් පමණ බැගින් ගිලා බසිමින් තිබෙන බව විද්‍යාඥයෝ පවසති. එම ප්‍රදේශ තවත් දස වසරක් ඇතුළත මුළුමනින්ම මුහුදු ජලයෙන් යට වී යනු ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි. මෙපමණ වේගයකින් ලොව වෙනත් කිසිදු නගරයක් ගිලා බසිමින් සහ මුහුදු ජලයෙන් යටවෙමින් නොපවතින බව  ඔවුහු කියති. 

ජාකර්තා නගරය මේ රුදුරු විපතට බිලිවෙමින් තිබෙන්නේ එහි වෙසෙන ජනයාගේම නොසැලකිල්ල නිසාය. නගරයේ වෙසෙන ජනයාගෙන් මිලියන 10කට අධික පිරිසක් නල ජලය භාවිතයට ගන්නේ නැත. ඒ පිරිස ජල අවශ්‍යතා සපුරා ගන්නේ පෞද්ගලික ළිංවලින් ලබා ගන්නා ජලයෙනි. එතරම් පිරිසක් ළිං විශාල සංඛ්‍යාවක් තැනීම පොළොව ගිලා බසින්නට හේතුවක් බව විද්‍යාඥයෝ පවසති.

ජාකර්තා නගරයේ නගර සැකැස්මත් නගරයේ ගිලා බැසීමට රුකුලක් වී ඇති බව 

පර් යේෂණවලින් තහවුරුව තිබේ. නගරයෙන් 97%ක ප්‍රමාණයක් ආවරණය වී තිබෙන්නේ කොන්ක්‍රීට් සහ ඇස්ෆෝල්ට්වලිනි. එම ද්‍රව්‍ය බරෙන් අධිකය. නගරයේ ඇතැම් ප්‍රදේශවල ගිලා බැසීමට එම බරත් හේතු වී තිබේ. ඊටත් වඩා අහිතකර ප්‍රතිඵලය අත්වන්නේ වර්ෂාධික කාලයටය. එහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 60ක් පමණ වේ. ඉදිකිරීම්වල ප්‍රතිඵලයක් හැටියට කොන්ක්‍රීට් සහ ඇස්ෆෝල්ට් වැස්මකින් පොළොව ආවරණය වී ඇති බැවින් වැසි ජලය පොළොවට උරා ගැනීමක් සිදු නොවේ. නගරයේ තැනින් තැන ජලය රැඳී තිබීමට එකී තත්ත්වය බලපායි. අවසානයේදී මේ ජලය එකතු වන්නේ නගරය හරහා ගලා බස්නා ගංඟා දහතුනකටය. මහා දිය කඳන් පිරුණු මේ ගංඟා නගරය හරහා එවිට වේගයෙන් ගලා බසින්නට පටන් ගනී. විශාල ජල කඳක් නගරය පුරා වේගයෙන් ගලා බැසීම ජකාර්තාහි පොළොවට ඔරොත්තු නොදෙන බව විද්‍යාඥයන්ගේ මතයයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00