2018 මැයි 19 වන සෙනසුරාදා

ට්‍රම්ප්-කිම් සාමකතා හුටස්!

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 226

ට්‍රම්ප්ගේ සහ ඔහුගේ ආරක්ෂක උපදේශකයාගේ නොපනත් කතා හේතුවෙන් ලෝකයම  පුන පුනා බලා සිටි සියවසේ මහා සාම කතාවටද මුකවාඩම් බැඳෙන ලකුණු පහළ වී හමාරය. තමන් න්‍යෂ්ටික අවි අත්හළ යුතු බව තමන් බලය යොදා මුල්ලකට කොටු කර ගනිමින් අමෙරිකාව ඒකපාර්ශ්විකව අවධාරණය කරන්නේ නම් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවලින් තමන් ඉවත්වීමට ඉඩ ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කිරීමත් සමඟිනි. කොටින්ම තමන් චණ්ඩි පාට් නොඉවසන බව උතුරු කොරියව මෙයින් අවධාරණය කර තිබේ.

අන්තර්ජාතිකව විශාල වශයෙන් අපේක්ෂාවක් ඇති කෙරැණු දෙරටේ නායකයින් අතර හමුව ලබන මස (ජුනි) 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි. කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨික විනිර්මුක්ත බව කරා ගෙනයාම සඳහා තමන් කැපවන බව උතුරු කොරියාව ප්‍රකාශ කිරීමත් සමඟ එරට නායක කිම් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමේ එකඟතාව පළවිණි.

මේ අතර අමෙරිකානු බලය වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන ජෝන් බෝල්ටන් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ ලිබියානු මාදිලියේ න්‍යෂ්ටික අවිහරණ වැඩපිළිවෙළක් අනුගමනය කිරීමට උතුරු කොරියාවට හැකි බවය. එය ලිබියාවේ නායකත්වයට අත්වූ ඉරණම සැලකිල්ලට ගැනීම සඳහා උතුරු කොරියාවට අනතුරු ඇඟවීම් කරන මාදිලියේ ප්‍රකාශයක් බවට බොහෝ විවේචන මතුවිය. ඒ අනුව ප්‍රකාශයක් නිකුත් කළ උතුරු කොරියානු උප විදේශ ඇමැතිවරයා, සාහසික ප්‍රකාශ කරන අතර දුෂ්ඨ අරමුණුවලට ඉඩකඩ සලසා ඇති බවට ඇමෙරිකාවට චෝදනා එල්ල කළේය. ඔහු  ඇඟිල්ල දිගුකළේ අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් වෙතය. උතුරු කොරියාවේ KCNA ප්‍රවෘත්ති ඒජන්සිය මගින් ප්‍රකාශයට පත්කරන ලද ඔහුගේ  අදාළ නිවේදනයට අනුව අමෙරිකාව “අපව මුලුගන්වමින් න්‍යෂ්ටික අවි අත්හැරිය යුතු බවට ඒකපාර්ශ්විකව ඉල්ලා සිටිනවා නම්. සාම සාකච්ඡා ගැන තවදුරටත් අපේ අදහසක් නැහැ” ජුනි 12 වෙනිදා හමුවට සහභාගි වෙනවාද යන්න ගැන අපට “යළි සිතා බැලීමට සිදුවෙනවා” යනුවෙනි.