2018 මැයි 19 වන සෙනසුරාදා

ඉන්දුනීසියාවේ බෝම්බ පවුල් සංස්කෘතිය

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 233

පසුගිය සතියේ ඉරිදා උදෑසන ඉන්දුනීසියාවේ සුරබයා නුවර පොලිස් මූලස්ථානය අසල මුර පොළකදී පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බය එල්ලකර තිබෙන්නේ යතුරුපැදි දෙකකින් පැමිණි එකම පවුලේ පස් දෙනෙක් විසින් බව මේ වනවිට හෙළි වී තිබේ. සුරබයා පොලිසිය විසින් නිකුත් කර තිබෙන එම මරාගෙන මැරෙන බෝම්බකාර පවුලේ ඡායාරූපයේ මැද සිනාමුසු මුහුණින් සිටින 8 හැවිරිදි දියණිය පමණක් බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඉතිරි වී සිටියි.

පොලිසිය පවසන පරිදි එම පවුලේ පියා වූ ඩිටා ඕප්‍රියාර්තෝ, අයි.එස්. සංවිධානයේ ආභාෂය ලද ජෙමාහ් අන්ශාරුත් දවුලාහ් (JAD) නම් වූ ජාලයක ප්‍රාදේශීය ප්‍රධානියා වේ.   සුරබයාහි පිහිටි පොලිස් මූලස්ථානයට සඳුදා දිනයේද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මෝටර් බයිසිකලයක නැගී පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ එරට වේලාවෙන් උදෑසන 8.50 ට පමණය. පිපිරීමෙන් පොලිස් නිලධාරීන් තුවාල ලද බව වාර්තා විය. ඉරිදා දේවස්ථාන තුනකට එල්ලවූ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙක් මියගියහ.

ඉන්දුනීසියාව ලෝකයේ වඩාත්ම ජනාධික මුස්ලිම් රාජ්‍යයයි. මිලියන 260ක ජනතාවක් වෙසෙන මේ කොදෙව්වේ ගතවූ වසර කිහිපය තුළ මූලධර්මවාදී අයිසිස් භටයන්ගේ සහ ජිහාඩ් ප්‍රහාරකයන්ගේ ග්‍රහණය උත්සන්න වී තිබේ. නමුත් සුරබයා නුවරින් එවැනි ප්‍රහාර මෙතෙක් වාර්තා වූයේ ඉඳහිටය. සුරබයා පොලිසිය විසින් නිකුත් කර ඇති වීඩියෝවේ පැහැදිලිව දැක්වෙන්නේ කුඩා දරුවන් ද සහිත පස් දෙනෙක් යතුරැ පැදි දෙකකින් පොලිස් මූලස්ථානය අසල මුරපොළ වෙත පැමිණෙන ආකාරයයි. අනතුරුව එම ස්ථානයේ විශාල පිපිරීමක් හටගනියි. 

දිවි බේරාගත් දියණිය යතුරුපැදියේ සිට ඇත්තේ මව සහ පියා අතර ය. ඇය සිය මව සහ පියා මේ යන්නේ අවසන් ගමන බව දැන නොසිටින්නට ඇත. එක්තරා ආකාරයකින් අනුවේදනීය යැයි කිව හැකි මේ බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඉරිදා දිනයේ රට තුළ බෝම්බ රැල්ලක අවදානමක් පැන නැඟී තිබියදීය. එයට හේතුව වී තිබුණේ නැගෙනහිර ජාවා පළාතේ අගනුවර වන සුරබයාහි පල්ලි 3කට ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වීමයි. පොලිසිය හෙළිකර ගත්තේ එම ප්‍රහාර 3 ම එල්ල කර තිබෙන්නේ එකම පවුලේ අය විසින් බවයි. එහිදී මව සහ දියණියන් දෙදෙනා එක් පල්ලියක් තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන විට පියා සහ පුතුන් දෙදෙනා තවත් පල්ලි දෙකකදී බෝම්බ පුපුරුවාගෙන තිබේ. පෙර කී දියණියන් දෙදෙනාද වයස අවුරුදු 9 සහ 12 පසු වූ අය වූහ.

2002 වසරේදී සුන්දර සංචාරක පාරාදීසයක් වූ බාලි දූපත්වලට, 200කට අධික පිරිසක් මරණයට පත් කරමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දුනීසියාව අද දක්වා ද අරගල කරමින් සිටින්නේ අයිසිස් තර්ජනයෙන් මිදීමට ය. සිරියාවේ සිවිල් යුද්ධයෙන් අවතැන් වූවන් සහ ත්‍රස්තවාදීන්ට සම්බන්ධතා දක්වන සිරියානුවන් ද විශාල ප්‍රමාණයක් මේ වනවිට ඉන්දුනීසියාව කරා සංක්‍රමණය වී සිටිති. මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව ඉන්දුනීසියානු ජනපති ජොකෝ විඩෝඩෝ විසින් හඳුන්වා දෙන්නේ “නීච, අශික්ෂිත සහ අමානුෂික” ප්‍රහාර යනුවෙනි. ඉන්දුනීසියාව දැන් වසර කිහිපයක පටන් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට උත්සාහ කරමින් සිටියි. නමුත් අද දක්වා ද එය සාර්ථක වී නැත. ඇතැම්විට මේ සිද්ධි මාලාවත් සමග මේ ප්‍රවනතාව වෙනස් වනු ඇත.