2018 මැයි 19 වන සෙනසුරාදා

පලස්තීන මහා විපත

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

මේ සතියේ ගාසා තීරයේ මියගිය පලස්තීනුවන් 58 දෙනාගේ අවමංගල්‍ය කටයුතු  සිදුකිරීමට නියමිතව තිබුණේද ඓතිහාසිකව ශෝකජනක දිනයකදීය. ඇමරිකාව විසින් ජෙරුසලමේ තානාපති කාර්යාලය විවෘත කිරීමට එරෙහිව පැවති උද්ඝෝෂණය සඳහා ගාසා තීරයේ නැගෙහිර මායිමේ පිහිටා තිබෙන ආරක්ෂක වැට අසල ස්ථාන 13 ක පලස්තීනුවන් 40,000 කට ආසන්න පිරිසක් උද්ඝෝෂණය කළ අතර, ඊශ්‍රායල හමුදා ප්‍රහාරයෙන් 58 දෙනෙක් මිය යද්දී 4700 දෙනෙක් පමණ වෙඩි වැදී තුවාල ලබා සිටිති.

මියගිය අයගේ අවසන් කටයුතු තිබූ දිනය පලස්තීනුවන් විසින් වාර්ෂිකව අනුස්මරණය කරන ‘නක්බා‘ දිනයයි.  ‘නක්බා‘ යනු ‘මහා විපත‘ යන්නයි. 1948 වසරේ ඊශ්‍රායලය නිර්මාණය කිරීමේදී පලස්තීනුවන් 700,000කට ආසන්න සංඛ්‍යාවක් සිය උපන් බිමෙන් නෙරපා හැරීම ‘නක්බා‘ මගින් සිහිපත් කෙරේ. එම සැමරුම් දිනට පෙර දිනයේ ඊශ්‍රායලය මෙම පලස්තීන සංහාරය සිදුකිරීම විශේෂත්වයකි.

පලස්තීන විමුක්ති අරගලය තුළ නැගෙනහිර ජෙරුසලම හැඳින්වෙන්නේ “අනාගත පලස්තීන රාජ්‍යයේ අගනුවර”ලෙසය. ඊශ්‍රායලයේ ටෙල්අවීව් අගනුවර පිහිටා තිබූ  අ‍මෙරිකානු තානාපති කාර්යාලය ජෙරැසලම තුළ ස්ථානගත කිරීම තුළින් ඇමරිකාව විසින් ජෙරුසලම ඊශ්‍රායලයට අයත් බිම් කඩක් බව රාජ්‍ය මට්ටමෙන් නිල වශයෙන් පිළිගැනීමකට ලක්කර තිබේ. 

අවසානයේ, ගතවූ මාස කිහිපය මුළුල්ලේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ ජගත් සංවිධානයෙන් එල්ල වූ දැඩි විරෝධතා නොතකා වොෂින්ටනය ජෙරුසලම නගරයේ සිය අමෙරිකානු තානාපති කාර්යාලය විවෘත කළේය. තානාපති කාර්යාලය විවෘත කිරීමට පැමිණ සිටියේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප්ය. එම අවස්ථාවේදී එහි සිටි අමෙරිකානුවන් සහ ඊශ්‍රායල සම්භාවනීයන්ගේ අත්පොළසන් නාදය අතරින් පැතිර ගියේ පලස්තීනුවන්ට වෙඩි තබන ශබ්දයයි.