2018 මැයි 12 වන සෙනසුරාදා

මැලේසියාව නැවතත් මහතීර් අතට

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

දේශපාලනයෙන් විශ්‍රාම ගෙන වසර 15කට පසු නැවත සිය රටේ නායකත්වයට  පත්වීමට මැලේසියාවේ 4 වැනි අගමැතිවරයාව සිටි මහතීර් මොහොමඩ් සමත්විය. මහා මැතිවරණයෙන් ලද අනපේක්ෂිත විජයග්‍රහණයත් සමග ඔහු යළි බලයට පත්වන්නේ ඡන්දයකින් පත්වුණු ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමිනි. එසේම මේ ජයග්‍රහණයත් සමඟ ඔහු පරාජයට පත් කරන්නේ දූෂණ චෝදනාවලට ලක්ව “දූෂණ රජා”  ලෙස රටේ ප්‍රසිද්ධව සිටින කලින් සිය කණිෂ්ට හිතෛශියෙකුව සිටි අගමැති නජිබ් රසාක් ය. මහතීර් ලද ඓතිහාසික ජයග්‍රහණයත් සමග 1957 වසරේ මැලේසියාව නිදහස ලැබීමේ සිට එරට පාලනය ගෙන ගිය බරිසාන් ජාතික පෙරමුණ හෙවත් බී.එන්. සභාගය බලයෙන් ඉවතට විසිවිණි.

සිය සන්ධානය මගින් ”නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපනය” කරන බවත්, තමන්ගේ අරමුණ පළිගැනීම නොව, දූෂණය වංචාව පිටු දැකීම බවත්  මහතීර්  ජයග්‍රහණයෙන්  පසු  කීය. පරාජය වූ නජිබ් රසාක්ට එරෙහිව ගන්නා පියවර ගැන කිසිවක් නොකීවත් දූෂකයන්ට දඬුවම් විඳින්නට වන බව ඔහු කියා තිබේ. මහාතීර් පරාජය කළේ නජීබ්ව පමණක් නොවේ. 1957 සිට අපරාජිතව තිබූ තමන්ද කලින් නියෝජනය කළ පක්ෂයයි. මහතීර් අයත් වූ“අපේක්ෂාව පිළිබඳ සන්ධානය” තමන් තරග වැදුණු ආසන 222න් ආසන 113ක බලය තහවුරු කරගැනීමට සමත් වූ අතර ඉන් ඇතැම් ආසන කිසිදාක විපක්ෂය විසින් ජයගනු ලැබ නැත. කලින් 61ක් වසරක් අපරාජිතව තිබූ බීඑන් පක්ෂයට ආසන 79ක් පමණක් හිමිවිය.

මහතීර් මොහොමඩ් 1981 සිට 2003 දී ඉවත්ව යනතෙක් වසර 22ක කාලයක් අගමැති ධුරය හෙබවීය. ඒ කාලයේ ඔහු සියරටට නවීකරණය හඳුන්වා දුන් අයෙකු ලෙස ජනහද  දිනා ගත්තේය.“ඒෂියන් ටයිගර්ස්” යනුවෙන් හැඳින්වෙන 1990 ගණන්වලදී සිය ආර්ථිකය වේගයෙන් පුළුල් කරගත් ආසියාතික රටවල් සමූහය අතරට මහතීර්ගේ නායකත්වය යටතේ මැලේසියාවද එක්විණි. ආසියාකරයෙ 90 ගණන්වල හටගත් ආර්ථික ඇද වැටීමේදී මුලින්ම හිස එසැවූයේ මැලේසියාවයි. මහතිර් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ නොසලකා කටයුතු කරමින් මැලේසියාව ගොඩදැමුවේ අන් රටවලට ආදර්ශයක් වෙමින් මුල්‍ය අරමුදල ඇතුළු බටහිර විවේචනයට ගොදුරැවෙමිනි. එහෙත්, සිය දේශපාලන විරුද්ධවාදීන් සිරකිරීම සඳහා අර්බුදකාරී ආරක්ෂක නීති උපයෝගී කරගත් ඒකාධිපති ස්වරූපයේ අයෙකු ලෙස ඔහුට චෝදනා එල්ල වි තිබුණි.

මෙයින් වඩාත් කූප්‍රකට වූයේ සිය නියෝජ්‍ය අගමැතිවරයාව සිටි අන්වර් ඊබ්‍රාහිම් ධුරයෙන් පහකර ඔහු වෙත දූෂණ හා පුංමෛථුනය පිළිබඳ චෝදනා එල්ල කිරීමත්, 1998 දී ඔහු ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ සඳහා හඬ නගනවිට අවසානයේදී සිරගත කිරීමත්ය. දැන් මහතීර් ඉබ්‍රාහීම් හට රාජකීය සමාවක් ලබාදීමටත් ඔහු නැවත බලයට ගෙන ඒමටත් කටයුතු කරන බව කියා තිබේ. මහතීර් විසින් මග පෙන්වන ලද නජිබ් රසාක් 2008 දී අගමැති ධුරයට පත්වුව ද නිරන්තරයෙන් ඔහුටද දූෂණ චෝදනා එල්ල විය.

රසාක් විසින් පිහිටුවන ලද ‘Malaysia Development Berhad’ නම්වූ රාජ්‍ය ආයෝජන අරමුදලින් ඩොලර් මිලියන 700ක් සිය සාක්කුවට දමා ගැනීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්විය. දූෂණ චෝදනා පැවතිය ද නජීබ් රසාක් මෙවරද ජයගනු ඇතැයි බලාපොරොත්තු පළවී තිබිණි.

2016 දී මහතීර් මොහොමඩ් තමන් මැතිවරණයට එන බව ප්‍රකාශයට පත්කළේය. ඒ දූෂණයෙන් රට බේරා ගැනීමටය. මේ වනවිට 92ක් වූ සිය වයස පිළිබඳව මතුව තිබූ බියට ප්‍රතිචාර දක්වමින් මහතීර් කියා සිටියේ තමන් ඉවත්වීමට පෙර වසර දෙකක කාලයක් පමණක් පාලනය ගෙන යන බවය. ඉන්පසු අන්වර් ඊබ්‍රහිම් හට සමාව ප්‍රදානය සඳහා කටයුතු සලසන අතර ඔහුට නැවත ඡන්දයෙන් පත්ව ඉහළම ධුරය දැරීම සඳහා අවශ්‍ය මග එළිපෙහෙළි කරන බවට ද ඔහු ප්‍රතිඥා දුණි.
මැතිවරණයට පෙර එල්ලවූ චෝදනාවලින් කියැවුණේ ඡන්දය නිදහස් හා සාධාරණ එකක් නොවනු ඇති බවය. මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් වනු ඇතැයි ආණ්ඩුව කලින්ම අවධාරණය කළ අතර මැතිවරණ කොමිසම“සියල්ලගේ යහපතට” ක්‍රියාකළ බව නජිබ් රසාක් කියා තිබුණී.

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00