2018 මැයි 12 වන සෙනසුරාදා

කිම් ජොං ට්‍රම්ප් හමුවෙති

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

ලෝක සාමයට මහත් බාධකයක් වනු ඇතැයි සිතා සිටි මුරණ්ඩු නායක දෙපළක් සාම කතා සඳහා දැන් ස්ථීරව දින නියම කරගන සිටිති. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං ය. මේ දෙනා ලබන මස (ජූනි) 12 වෙනිදා සිංගප්පුරුවේදී හමුවීමට කටයුතු යොදා ඇත. තමන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් හමුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ පසුගිය බ්‍රහස්පතින්දාය.. .

සාකච්ඡාවට එන්නැයි මුලින්ම උතුරු කොරියානු නායකයාගෙන් ලද පෙර නොවූ විරූ ආරාධනය පසුගිය අප්‍රේල් මස ට්‍රම්ප් පිළිගත්තේ ලොවම පුදුමයට පත් කරමිනි. දෙදෙනාම  මාධ්‍ය  ඔස්සේ  එකිනෙකා වෙත අපහාස සහ තර්ජන ද එල්ල කරගනිමින් ලෝකයම කැළඹීමට කටයුතු කළහ. නමුත් උතුරු සහ දකුණු කොරියාව අතර පසුගියදා  පැවති  සාකච්ඡාවලින් පසුව දැන මේ සාමයට ලැදි  වර්ධනීය තත්ත්වය හටගෙන තිබේ.

නායක දෙපළ අතර හමුව පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළේ උතුරු කොරියාව විසින් නිදහස් කරනු ලැබීමෙන් අනතුරුව සියරට පැමිණි ඇමෙරිකානුවන් තිදෙනා පිළිගැනීමෙන් පැය කිහිපයක් ඉකුත්ව යාමට පෙරය. ජනාධිපති ට්‍රම්ප් සිය බිරිඳ මෙලනියාද කැටුව ගුවන් යානය තුළට ගොස් ඔවුන් පිළිගනු ලැබූ බව වාර්තා විය. නිදහස ලද එම ඇමෙරිකානුවන් තිදෙනා වොෂිංටනය බලා පිටත්වුණේ, උතුරැ කොරියාවේ සංචාරයකින් අනතුරුව සියරට බලා යමින් සිටි රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ රැගත් ගුවන් යානයෙනි.

සිරකරුවන් මුදාහැරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයාට තුති පළකළ ඇමෙරිකානු ජනාධිපතිවරයා “දෙරටේ නායක හමුව සිදුවීමට පෙර සිරකරුවන් මුදා හරිනු ඇතැයි  තමන් නොසිතූ” බව සඳහන් කළේය. ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර යෝජිත හමුව නිමිත්තෙන් හොඳහිත පළ කිරීමක් වශයෙන් ප්යොංයෑං පාලනය විසින් ඔවුන් මුදාහරිනු ලැබ ඇතැයි ධවල මන්දිරය කීය.

ඇමෙරිකානු සිරකරුවන් මුදාගැනීම ඔහු ලද “සාඩම්බර ජයග්‍රහණයක්දැයි” විමසූ විට ඊට පිළිතුරු දුන් ජනාධිපති ට්‍රම්ප් “සාඩම්බර ජයග්‍රහණය වන්නේ සමස්ත කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික නිරවි කලාපයක් බවට පත් කළ විටෙක” යැයි කියා තිබුණි.“මේක අති විශාල ගෞරවයක්. එහෙත් සැබෑ ගෞරවය වන්නේ න්‍යෂ්ටික අවි මුලිනුපුටා දැමීමේ ඉලක්කය සපුරා ගැනීමට අපි සමත් වුණොත් පමණයි” ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා තිබුණි. තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් “යම් දිනයක උතුරු කොරියාවට යාමට තමාට හැකිවනු ඇතැයි බලාපොරොත්තු තබන බවත් සියරට සැබෑ ලෝකය තුළට ගෙන ඒමට කිම් ජොන් උන්ට උවමනාවක් ඇතැයි විශ්වාස කරන” බවත් සඳහන් කළේය.

දෙරට නායක හමුව සූදානම් කිරීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පියොං යෑං වෙත ගොස් සිටි අතරවාරයේදී එම සිරකරුවන් තිදෙනා නිදහස් කෙරිණි. ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් සඳහා සිංගප්පුරුව මීට පෙරද යොදාගෙන තිබේ. වසර 60 ට පසුව 2015 දී චීන - තායිවාන නායක සාකච්ඡා පැවැත්වුණේ ද සිංගප්පුරුවේදීය.

ඇමෙරිකාව හා සිංගප්පූරුව අතර පවතින්නේ ඉතා සමීප සබඳතාවකි. සිංගප්පූරුව සහ උතුරු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවතියද ජාත්‍යන්තර සම්බාධක දැඩිවීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී උතුරු කොරියාව සමග ඇති සියලු ආකාරයේ වෙළෙඳ සබඳතා අත්හිටුවීමට සිංගප්පුරුව පියවර ගත්තේය. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00