2018 මැයි 12 වන සෙනසුරාදා

බෝකෝ හරාම් ප්‍රාණ ඇපකරුවන් 1000ක් බේරාගනියි

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

ලෝකයේ විවිධ ප්‍රදේශවල පැතිර ඇති යුද ගැටුම් අතර නයිජීරියාවේ බොකෝ හරාම් ගැටලුවද නිමක් නොදක්නා ගැටුමකි. පසුගිය සඳුදා බොකෝ හරාම් ත්‍රස්තවාදීන්ගේ  ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි 1000ක් මුදාගැනීමට නයිජීරියානු හමුදාව සමත් වූ බව වාර්තා විය. මෙම ප්‍රාණ ඇපකරුවන්ගෙන් බහුතරය කාන්තාවන් සහ දරුවන් ය. බේරාගත් අය අතරින් ඇතැමෙක් ප්‍රකාශ කළේ තමන්ටද ත්‍රස්තවාදී සංවිධානය වෙත බැඳෙන ලෙසට විශාල බලපෑම් එල්ල වූ බව ය.

බෝර්නෝ ප්‍රාන්තයේදී සිදුකළ මෙම ජීවිත ගළවාගැනීමේ මෙහෙයුම “බහුජාතික ඒකාබද්ධ හමුදා මෙහෙයුම”කි. ඒ සඳහා නයිජීරියානු හමුදාව සමග කැමරුන්, චැඩ්, නයිජර් සහ බෙනින් යන රාජ්‍යයන්හි සොල්දාදුවෝ සම්බන්ධ වූහ. පෙබරවාරි 27 වැනිදා වාර්තා වූයේ මෙවැනිම බහුජාතික ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් මගින් ප්‍රාණ ඇපකරුවන් 1300 දෙනෙක් මුදාගැනුණු බවයි. චැඩ් විල අසබඩ සිදුකළ මෙම මෙහෙයුම්වලට නයිජීරියානු හමුදාව සමග එක්ව සිටියේ කැමරුන් රාජ්‍යයයි.
බොකෝහරාම්‘ යන්නේ වචනාර්ථය “Western education is forbidden” හෙවත් ‘බටහිර අධ්‍යාපනය තහනම්යන්නයි. මෙය කොතරම් මූලධාර්මික සහ අන්තවාදී සංවිධානයක් ද යන්නට එම වචනාර්ථයම සාක්ෂි සපයයි. බොකෝ හරාම් ත්‍රස්තවාදීන්, පාසල් අධ්‍යාපනය ලබන දැරියන් මහා පරිමාණයෙන් පැහැරගනිමින් සිටින්නේ ද ඔවුන්ගේ සටන්පාඨය මුල් කර ගනිමිනි.

නයිජීරියාවේ  යෝබේ, කානො, බොචි, බොනෝ සහ කඩූනා යන ජනපද බොකෝහරාම් බලකොටු වශයෙන් හඳුනාගෙන ඇත. බොකෝහරාම් යන වචනය ලෝකය මුලින්ම දැනගත්තේ 2002 වර්ෂයේදීය. බොකෝහරාම් නැගී සිටීම යනුවෙන් හඳුන්වන අර්බුදය ආරම්භ වන්නේ 2009 ජූලි මාසයේ සිටය. බචූ ප්‍රාන්තයෙන් ආරම්භ වූ මෙම නැගීසිටීම පසුව බොනෝ, කානෝ සහ යෝබේ ප්‍රාන්තවලට ද පැතිරිණි.  

දැනට වසර 11 ක කාලයක පටන් බොකෝහරාම් ත්‍රස්තවාදීහු නැගෙනහිර නයිජීරියාවේ, බෙල්ජියම තරම් විශාල බිම්කඩක ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටිති. 2018 වසරේදී ද බොකෝ හරාම් ප්‍රහාර ගණනාවක් නයිජීරියාවෙන් වාර්තා විය. පෙබරවාරි මාසයේ යොබේ ප්‍රාන්තයේ පාසලකට පහර දුන් ත්‍රස්තවාදීහු පාසල් දැරියන් තවත් 110 දෙනෙක් පැහැර ගත්හ. එයින් මාසයකට පසු නයිජීරියානු රජය පැවසුවේ එයින් 101 දෙනෙක් මුදාගත් බවයි. මෙයට පෙර අප්‍රේල් 8 වැනිදා ද බොකෝහරාම් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි 149 දෙනෙක්ව බේරා ගැනිණි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00