2018 මැයි 05 වන සෙනසුරාදා

ට්‍රම්ප් හොර Medical මගඩියක

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 191

අමෙරිකා ජනාධිපති හා සම්බන්ධ වංචා සහගත ක්‍රියාවක් දැන් කරළියට පැමිණ තිබේ. සිය ශරීර සෞඛ්‍ය පිළිබඳ වාර්තාව තමන්ම ලියා ගත්තේයැයි කියන කාරණාවක් සම්බන්ධයෙනි. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග වැදුණ ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවදියේ ඉදිරිපත් කළ “පුදුමාකාර විශිෂ්ට මට්ටමේ ශරීර සෞඛ්‍යයකින් පසු වෙන” බව පැවසෙන වෛද්‍ය වාර්තාව ඔහු විසින්ම ලියා ගන්නා ලද එකක් බව ඔහුගේම හිටපු වෛද්‍යවරයා දැන් කියයි. එම තොරතුරු ඇතුළත් වෛද්‍ය වාර්තාවට තමා අත්සන් කළත් එය ලියා ගන්නා ලද්දේ එවක ජනාධිපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම යැයි වෛද්‍ය හැරල්ඩ් බොර්න්ස්ටීන්  ප්‍රකාශ කිරිමත් සමඟ මහා ආන්දෝලනයක් හට ගෙන ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් “අති විශිෂ්ට ශාරීරික ශක්තියකින් සහ දරා ගැනීමේ ශක්තියකින් සමන්විත එසේම අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති පදවියට පත් කර ගනු ලබන අතිශයින් නිරෝගී පුද්ගලයා” වනු ඇතැයි ද එම වාර්තාවේ දක්වා තිබුණි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුධිර පීඩනය සහ ඔහුගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණයන්හි ප්‍රතිඵල “පුදුමය දනවනසුළු ඉහළ මට්ටමක” පවතින බවත් ඔහු පිළිකා වැනි ව්‍යාධියකින් නොපෙළෙන අතර වයස අවුරුදු දහයේ දී උණ්ඩුක පුච්ඡය ඉවත් කරනු ලැබීම හැරුණු විට වෙනත් කිසිදු ශල්‍ය කර්මයකට භාජනය කර නැති බවත් එම වාර්තාව දක්වා ඇත.

ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති පදවියට පත් කර ගනු ලබන අතිශයින් නිරෝගී පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප් වනු ඇතැයි එයින් පෙන්වාදි තිබුණි.

එම වෛද්‍ය වාර්තාව අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මත්පැන් හෝ දුම්කොළ නිෂ්පාදන භාවිතය සහිත ඉතිහාසයක් හිමි චරිතයක් නොවේ. අදාළ වෛද්‍ය වාර්තාව නිකුත් කරනු ලැබීමට සති කීපයකට පෙර (ට්විටර්) පණිවුඩයක් නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, වෛද්‍ය හැරල්ඩ් බොර්න්ස්ටීන්ගේ වාර්තාව අනුව සිය ශරීර සෞඛ්‍යය “පරිපූර්ණ ඉහළ මට්ටමක” පවතින බව පෙන්නුම් කෙරෙන්නේ යයි කියා සිටියේය. “ගුණාත්මක ජානවල පිහිට ලැබීමට තරම් මම වාසනාවන්තයකුව සිටිමි” යැයි අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති පදවියට පත් වෘද්ධතම තැනැත්තා ලෙස ඉතිහාසගත වන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය (ෆේස්බුක්) පිටුවෙහි කලින්ම ලියා තිබුණි. දැන්  කරුණු කාරණා එළිදරව් කර ඇත්තේ ට්‍රම්ප් තමන් රිසි පරිදි ලියා ගත් වාර්තාවට වෛද්‍යවරයා අත්සන යෙදු බවය. 

2015 වසරේ එම වෛද්‍ය විශ්ලේෂණය ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේ ද වෛද්‍ය විශේෂඥයෝ එහි අන්තර්ගත භාෂා රටාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළහ. නමුත් එය තමා විසින් ලියන ලද බව වෛද්‍ය හැරල්ඩ් බොර්න්ස්ටීන් එකල අවධාරණයෙන් කියා සිටියේය. වෛද්‍යවරයාගේ අලුත්ම ප්‍රකාශය සම්බන්ධයෙන් ධවල මන්දිරය ප්‍රතිචාරය පළ කර නැත. වෛද්‍ය හැරල්ඩ් බොර්න්ස්ටීන් ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධයෙන් දැන් ඉහත කී ආකාරයේ විවේචනයක් දැන් එල්ල කිරීමට හේතුව කුමක්ද? යන්න පැහැදිලි නැත.

මේ අතර ජනාධිපති ට්‍රම්ප්ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ද අනුමාන පළ වෙමින් පවතින අතරවාරයේ පසුගිය ජනවාරි මාසයේ ඔහු පැය තුනක සායනයකට සහභාගී කෙරුණු බවක් ද වාර්තා වීය.