2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ඵෙතිහාසික කොරියානු නායක හමුව!

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

ලෝකයේ ඓතිහාසික රාජ්‍ය නායක හමුවක් ඉකුත් සිකුරාදා (අප්‍රේල් 27) සිදුවීය. කොරියානු රාජ්ජයන් දෙක අතරය. ඒ අනුව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ ඉන් සිකුරාදා දෙරට අතර දේශසීමාවේ යුද විරහිත කලාපයේ ගම්මානයක දී පළමුවරට මුණගැසුණි. කලාපීය සාමය සහ න්‍යෂ්ඨික නිරවිකරණය මේ හමුවේ මුල් අරමුණයි.

ඓතිහාසික නායක හමුවට එක්වෙන දූත මණ්ඩල දෙක කොරියානු රාජ්‍යයන් දෙක විසින් කලින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි. එම දූත මණ්ඩල ලැයිස්තු අනුව දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ ඉන් සමඟ එක්ව සිටින පිරිවර කණ්ඩායම හත් දෙනෙකි. මේ අතර සිය සහායකයන් නව දෙනකු සමඟ කිම් ජොන් අන් සාකච්ඡා මණ්ඩපයට පැමිණෙනු ඇතැයි උතුරු කොරියාව කියා තිබුණි.

එම උතුරු කොරියානු දූත මණ්ඩලයේ නව දෙනාට ඉහළ මට්ටමේ යුද හමුදා නිලධාරීන් කීපදෙනෙකුත් ඇතුළත් කර ඇති අතර ඔවුන් මෙයින් පෙර මෙවැනි සමුළු සඳහා සහභාගි වී නැති අයයි. එම උතුරු කොරියානු යුද නිලධාරීන්ගේ සහභාගිත්වය සාම ගිවිසුමක් නිර්මාණය කිරීමක් හෝ න්‍යෂ්ටික නිරවිකරණයට අදාළ සාකච්ඡා සඳහා ඇති සූදානම සංකේතවත් කිරීමක් විය හැකි බව විශ්ලේෂකයෝ පවසති. කිම් ජෝන්ගේ සොහොයුරිය කිමියෝ ජෝන්ග් මෙහිදී සාකච්ඡා වටයට සහභාගි වන එකම කාන්තාව ලෙස සහභාගි වූවාය.

මෙම කොරියානු නායක සාකච්ඡා ආරම්භ කෙරෙන්නේ ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර සැලසුම් කරනු ලැබ ඇති හමුවකට පෙර වීම විශේෂත්වයකි.

1953 වසරේ කොරියානු යුද්ධය නිමවීමෙන් අනතුරුව දේශසීමාව ඔස්සේ දකුණු කොරියානු භූමියට පය තබන පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන් අන් ඉතිහාසයට එක්වනු ඇත. මෙම හමුවෙන් අනතුරුව දකුණු කොරියානු හමුදා ගෞරව සම්මාන සහිතව නායකයන් දෙදෙනා “පන්මුන්ජොම්” ගම්මානයේ විවෘත චතුරශ්‍රය කරා කැඳවාගෙන යනු ඇත.

අනතුරුව කොරියානු වේලාවෙන් උදැසන 10.30ට “පන්මුන්ජොම්” ගම්මානයේ සාම මන්දිරයේ දී ආරම්භ වූ ඓතිහාසික සාකච්ඡාවේ දී, න්‍යෂ්ටික අවි ව්‍යාපෘතිය අත්හැර දැමීම සඳහා ඇති සූදානම සම්බන්ධයෙන් උතුරු කොරියාව මෑතදී පළකරන ලද ඉඟි කිරීම් දෙස අවධානය යොමු කර තිබුණි.

උදේ වරුවේ සාකච්ඡා වටය නිමවීමෙන් අනතුරුව නායකයන් දෙදෙනා වෙන් වෙන්ව දිවා ආහාරය ගන්නා අතර උතුරු කොරියාවේ සෙසු දූත මණ්ඩලය යළි ඔවුන්ගේ භූමිය කරා යනු ඇත. සවස් භාගයේ සාකච්ඡා වටයේ දී නායකයන් දෙදෙනා සාමය සහ සෞභාග්‍යය සංකේතවත් කිරීම පිණිස දෙරටේ පස් සහ ජලය එක් කරමින් පිළියෙළ කරන ලද ස්ථානයක පයින් (Pine) පැලයක් රෝපණය කළහ. එම රුක් රෝපණයෙන් අනතුරුව සාකච්ඡාවේ දෙවන වටය ආරම්භ කෙරේ.

සාකච්ඡා නිමවීමට තිබුණේ නායකයන් දෙදෙනා විසින් සාම ගිවිසුමක් අත්සන් තබනු ලැබීමෙන් සහ ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කිරීමෙන් අනතුරුවය. දකුණු කොරියාව විසින් පිළියෙළ කරන ලබන රාත්‍රී භෝජන සංග්‍රහය ආරම්භ වන්නට නියමිතය.

මෙම ඓතිහාසික හමුව වසර ගණනාවක් කොරියානු අර්ධද්වීපයේ වැඩෙමින් පැවති ගැටුම්කාරී පරිසරය අභිබවා පෙරට යාමකි. ලෝකයම තක්කු මුක්කු කර දමන්නට සමත් වූ කිම් ජොන් අන්ගේ මේ අපූර්ව පියවරත් සමඟ මෙතෙක් ලෝකයට විනාශකාරී යක්ෂයකු ලෙස පෙනීගිය ඔහු සැලකිය යුතු මහත්මයකුගේ තත්ත්වයට පත්ව තිබේ.

 

 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30