2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ඉන්දියාවේ දූෂණ රැල්ල ආගමික නායකයා හිරේට

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

ලෝකය පුරා හාරකෝටියක අනුගාමිකයන් පිරිසක් තමාට ඇතැයි කියා සිටින ඉන්දියානු ආගමික නායකයෙක් ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු යයි ඉන්දීය අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබුණ අතර, ඔහුට ජීවිතාන්තය තෙක් බල පැවැත්වෙන සිරදඬුවමක් නියම විය.

2013 වසරේ සිය ආශ්‍රමයේදී දහසය හැවිරිදි දැරියක් දූෂණය කරන ලද බවට චෝදනා ලැබ සිටි අසරාම් බාපු නම් පූජකයා එම චෝදනාවට වරදකරු වන බව උතුරු ඉන්දියාවේ ජොද්පූර් නගරයේ උසාවිය තීන්දු කෙළ්ය.

අසරාම් බාපු (Asaram Bapu) එම නඩු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයක් වෙත අභියාචනයක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි සැලකෙයි. හැත්තෑ හත් හැවිරිදි අසරාම් බාපු යෝග අභ්‍යාස සහ භාවනා පුහුණු කෙරෙන ආශ්‍රම හාරසීයක් පමණ ලොව පුරා පවත්වා ගෙන යන බවත් වාර්තා වෙයි. ඔහුට එරෙහිව ස්ත්‍රී චෝදනා යටතේ පවරන ලද තවත් නඩුවක් ගුජරාට් ප්‍රාන්තයේ විභාගයට ගැනෙමින් ඇත. අසරාම් බාපු ආශ්‍රමයේ පැවති සාකච්ඡා සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා සහභාගී වී ඇති බව වාර්තා වෙයි.

මෙම නඩුව විභාග කෙරෙන කාල පරිච්ඡේදය ඇතුළත සාක්ෂිකරුවන් නව දෙනෙක් ප්‍රහාරවලට ගොදුරු වූ අතර තිදෙනෙක් මරණයට පත්ව ඇත. තවත් සාක්ෂිකරුවකුට සිදු වූ දෙයක් දැනගන්නට නැත.

මේ  අතර  ඉන්දියාවේ මෑතක දී වාර්තා වූ දරුණු ළමා දූෂණ මාලාව මුල් කොට ගෙන රට පුරා විරෝධතා පැන නැගීම හමුවේ, වයස අවුරුදු දොළහට අඩු දරුවන් දූෂණය කරන අපරාධකරුවන්ට මරණ දඬුවම ලබාදීමට ඉන්දීය කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළේය. ඒ අනුව එය ඇතුළත් කරමින් ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට නියමිතය. වර්තමානයේ ඉන්දීය නීතියට අනුව දරුණු ගණයේ අපරාධ කිහිපයකට මරණ දණ්ඩනය පැනවිය හැකි වුවත්, දරුවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් එය බල නොපැවැත්විණ. 2016 වර්ෂයේ දී පමණක්  ළමා දූෂණ නඩු 19,000 කට ආසන්න ප්‍රමාණයක් ලේඛනගත වී ඇත. ඒ අනුව දිනකට පනහකට අධික ළමා දූෂණ සිද්ධි වාර්තා වී තිබේ.