2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ඉන්දීය කාටුන් ශිල්පිනියකට මරණ තර්ජන

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 213

ඉන්දියාවේ පසුගිය දිනවල දැරියන් කිහිප දෙනෙකම දූෂණයට හා අතවරයන්ට ලක්වූහ. ඉන්දීය පාලනය යටතේ වූ කතුවා පළාතේ අට හැවිරිදි දැරියක් දූෂණයට ලක්ව මරා දැමූ අතර තවත් 16 හැවිරිදි දැරියක බිජේපී දේශපාලකයකුගේ නිවෙස ඉදිරිපිට සිය දිවි නසා ගත්තේ අදාළ දේශපාලකයා තමන් දූෂණය කළ බව කියමිනි. මෙම සිදුවීම් පාදක කර ගනිමින් ඉන්දීය මාධ්‍යවේදිනියක් වූ ස්වාතී වද්ලමුණ්ඩි හින්දු ජාතිකවාදී බලවේගයන් විවේචනයට ලක් කරමින් සිදුකළ කාටූන් නිර්මාණයක් හේතුවෙන් ඇයට මරණ තර්ජන එල්ල වී ඇතැයි වාර්තාවේ.

සීතා කුමරිය සහ රාමා කුමරු අතරේ වන දෙබසක් මෙම මගින්  කාටූනය නිරූපණය කරයි. සීතා කුමරියගේ අතේ ඉන්දීය පුවත්පතක් ඇත. එහි සිරස්තල කිහිපයක දැක්වෙන්නේ තරුණියන් සහ දැරියන්ට සිදුවුණු අතවර සම්බන්ධයෙනි.“ඔබේ පිරිවරට වඩා රාවණා මාව පැහැරගත් එක ගැන මට සතුටුයි” යැයි සීතා කුමරිය කියයි. මෙම නිර්මාණය සම්බණ්ධයෙන් ස්වාතී වද්ලමුණ්ඩි මාධ්‍යවේදිනියට අන්තර්ජාලය හරහා මරණ තර්ජන එල්ල වී තිබේ. තමන් මෙම තර්ජනවලට බිය නොවන බවත් තර්ජන හරහා තවදුරටත් ශක්තිමත් වන බවත් ඇය ප්‍රතිචාර දක්වමින් පවසා සිටියාය.

මීට දින කිහිපයකට ඉහත  කාෂ්මීරයේ කාතූවා දිස්ත්‍රික්කයේ අට හැවිරිදි මුස්ලිම් දැරියක සමූහ දූෂණයට ලක්ව අමානුෂික ලෙස ඝාතනය වූ අපරාධයට සම්බණ්ධව චෝදනා ලැබූවන්ට භාරතීය ජනතා පක්ෂයේ හින්දු ජාතිකවාදී ඇමැතිවරුන් දෙදෙනකුගේ ආරක්ෂාව හිමිවන බව පැවැසෙයි. එසේම භාරතීය ජනතා පක්ෂයේ ඇමතිවරයෙකු අතින් දූෂණයට ලක්ව සිය දිවි හානිකරගත් 16 හැවිරිදි දැරියක පිළිබඳ පුවතක්ද වාර්තා විය. මේ සිද්ධිවලට මුල් වූවන් සහ ආධාරකරුවන් තමන් රාම භක්තිකයන් ලෙස හඳුන්වා ගනිති. මාධ්‍යවේදිනිය උපහාසය මතු කරන්නෙ රාම යුගයෙත් මෙබඳු බැතිමතුන් සිටියේ නම් සීතාට දෙයියන්ගේම පිහිට පතන්නට සිදුවන්නට තිබු බවයි. වාර්තාවන් පෙන්වා දෙන්නෙ 1992 සිට දූෂණ විරෝධී මාධ්‍යවේදීන් 27ක් ඝාතනයට ලක්ව ඇති බවය.