2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ටොරෙන්ටෝ අනතුරට ලාංකික කතක් බිලි

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදික වේදිකාවක් මතට වෑන් රථයක් කඩාවැදීමෙන් පසුගියදා සිදුවූ අනතුර නිසා මියගිය පුද්ගලයින් 10 දෙනා අතර රේණුකා අමරසිංහ නමැති ශ්‍රී ලාංකික සම්භවය ඇති කාන්තාවද සිටින බව මේ වනවිට තහවුරු කර තිබේ. ඇය හොරණ, කිඳෙල්පිටිය, කට්ටිහේන ප්‍රදේශයේ පදිංචිව සිට මිට වසර 17 කට පමණ ඉහතදී පුරවැසිභාවය ලබා කැනඩාවේ ස්ථිර පදිංචිය පිණිස ගිය කාන්තාවකි.    

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ  සඳුදා දින දහවල්  පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පදිකයන්  වෙත  වෑන් රථයක් ධාවනය කිරීම නිසා දස දෙනෙකු මරණයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලැබුහ. 25 වියැති ඇලෙක් මිනාසින් නැමති රිච්මන් හිල්හි පදිංචි තරුණයකු මෙම අනතුර සිදුකර තිබූ අතර අවසානයේ ඔහුව ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට එහි පැමිණි පොලිස් නිලධාරියා සමත් විය.

පැයට කිලෝමීටර් 60ක පමණ වේගයෙන් ධාවනය වූ රථය කිලෝමීටර් 3ක පමණ දුරක පදික වේදිකාවේ ගමන් ගත් පදිකයන්ව මෙසේ අනතුරට පත්කර තිබේ. අනතුර සිදු කිරීමට හේතු මෙතෙක් අනාවරණය නොමැතිව ඇති අතර මෙය රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන සිදුවිම් හා සම්බන්ධයක් නොමැති බවද එරට මහජන ආරක්ෂක ඇමතිවරයා පැවසීය.

7 හැවිරිදි දරුවෙකුගේ මවක වන රේණුකා මියයන විට 45 වන වියේ පසුවූවාය. කැනඩාවට යාමට පෙර කුවේට් රටේ රැකියාවකද නිරතව සිටි බව කියන ඇය පසුව  කැනඩාවට සංක්‍රමණය වී තිබේ. මීට සතියකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණ සිය මව සහ සහෝදර සහෝදරියන්ද නෑ හිතවතුන් ද හමුවී දින කිහිපයක් මෙහි ගතකර ඇය ආපසු කැනඩාවට ගිය බව රේණුකාගේ සොයුරියක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. රැකියාවක් කරමින් සිය හත් හැවිරිදි දරුවා ද රැකබලා ගනිමින් රේණුකා අමරසිංහ මහත්මිය සමාජ සේවා කටයුතුවලද නිරතව සිටි බවත් අනතුරට මුහුණ පා ඇත්තේ ටොරොන්ටෝ නුවර ශ්‍රී ලංකාවෙන් පැමිණි පවුල්වල දරුවන්ට සිංහල භාෂාව කතා කිරීමේ පන්තියක් පවත්වා සිය නිවස බලා යමින් සිටියදී බවත් වාර්තා විය. ඇය ටොරොන්ටෝ බෞද්ධ විහාරයේ දායිකාවකි. 

මෙම සිදුවීම හටගෙන ඇත්තේ අදාළ ස්ථානයේ සිට සැතපුම් 18ක් (කිලෝමීටර 30) එපිටින් ජී7, එනම් කැනඩාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන රටවල විදේශ අමාත්‍යවරුන් රැස්වීමකට එක්ව සිටි අතරවාරයේදීය. යුරෝපය සහ ඇමරිකාව තුළ මෝටර් රථ යොදා ගනිමින් සිදුකරන ප්‍රහාර ගණනාවක් මෑත කාලයේ වාර්තා විය. 2017 ඔක්තෝබර් මාසයේදී නිව්යෝර්ක්හි බයිසිකල් ධාවන මගක වෑන්රියක් ධාවනය කරවීම නිසා අටදෙනෙක් මියගියහ.