2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 263

1. කැබිනට් සංශෝධනය අද නෙවෙයි හෙට කියනවා, ශ්‍රීලනිපයේ 16 දෙනා විපක්ෂයේ වාඩිවෙනවා කියනවා, මේ ආණ්ඩුව සහ විපක්ෂය මේ වගේ දේශපාලන ප්‍රශ්න කතා කරනවා පමණයි. රටේ ප්‍රශ්න අමතක කරලා කියලා ජනතාව චෝදනා කරනවා.

2. රුපියලේ අගය බලා ඉන්දැද්දී පහළ වැටෙනවා. මෙය රටේ ආර්ථිකයට මොනවගේ බලපෑමක් ඇති කරයිද?

3. පළාත් හයක ඡන්දය මේ අවුරුද්දේ පවත්වන්න ඕන කියලා මැතිවරණ කොමිසමේ සභාපති කියනවා. ඔය කිව්වට මේ වසරේ පළාත් සභා ඡන්දය තියන්න පුළුවන්ද?

4. කල් තැබූ පාර්ලිමේන්තුව 8 වැනිදා රැස්වීමට නියමිතයි. එය කල් තැබීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වූ අරමුණ ඉටුවුණාද?

 

ඒකාබද්දෙ තමයි රටම පටලවන අවුල් හදන්නේ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ

1. ඇත්තටම රටේ ප්‍රශ්න තමයි මුලට ගන්න ඕන. හැබැයි මේ අවුලට වගකියන්න ඕන මේ ඒකාබද්ධ කල්ලිය. ඒගොල්ලන් තමයි මේ රටේ අවුල නිර්මාණය කරන්නේ. ඒ අය පාර්ලිමේන්තුව සහ රටේ රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරන්න හදනවා ඒ අයගේ දේශපාලන අරමුණු වෙනුවෙන්.

2. රටට ඔරොත්තු නොදෙන මහා ණය බරක් අරගෙන, ඕන නැති ව්‍යාපෘති පටන් අරගෙන ජී.එස්.පී. ප්ලස් සහනය අවලංගු කරගෙන අපේ රටට චෝදනා එල්ල වන විදියට රට අගාධයට ඇදලා දාලා මේ රට අරාජික කළේ පසුගිය රජයයි. ඒ බර තමයි අද මේ ආණ්ඩුවට කර ගහන්න වෙලා තියෙන්නේ. අවාසනාවකට මේ ආණ්ඩුවෙන් රට පාලනය කරන්න දීපු අය රට පාලනය කරන එක පැත්තක තියලා පක්ෂ බදාගෙන හිටපු එකේ අනිසි ප්‍රතිඵලයක් මේකට බලපාලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

3. ප්‍රතිඵලය මොකක් වුණත් තත්ත්වය කොහොම වුණත්, කවුරු දිනුවත් පැරදුණත් පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕන කියන එක තමයි මම දරන ස්ථාවරය.

4. ආණ්ඩුව නෙවෙයි ඇත්තටම ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් කරන්න තියෙන බලතල එක්ක තමයි ඒක කල් තියලා තියෙන්නේ. හැබැයි මම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන කෙනෙක් හැටියට යහපාලනය අගය කරන කෙනෙක් හැටියට එන්න තියෙන විගණන පනතයි. අධිකරණ සංවිධාන පනතයි සංශේධන සහිතව සම්මත කරගන්න තිබුණ අවස්ථාව මගහැරුණු එක ගැන කනගාටු වෙනවා.

ජනතාවගේ ප්‍රශ්න වහන්න ආණ්ඩුව බොරු ෂෝ දානවා

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා (ඒකාබද්ධ විපක්ෂය)

1. ඉතාමත් පැහැදිලිවම පෙබරවාරි 10 ප්‍රතිඵල එක්ක ජනතාව පෙන්නලා තියෙනවා මේ ආණ්ඩුවට මේ යන ගමන් මාර්ගය වැරදියි කියන එක. ඒ වැරදියි කියන ගමන් මාර්ගය හඳුනගන්නේ නැතුව ආණ්ඩුව වෙනත් මාර්ගයක තමයි ගමන් කරන්නේ. කිසිම අමාත්‍යංශයක ජනතාව වෙනුවෙන් කරපු දෙයක් අපි දැකලා නැහැ. ඊට එහා ගිය හොරකම, වංචාව, දූෂණය තමයි අපි දැකලා තියෙන්නේ. ඒ වගේම මොවුන් මේ හැමදේම කරන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න වහගන්න කියන එක තමයි මගේ අදහස.

2. රටේ ආර්ථිකය පාලනය කරන්න බැහැ කියලා වසර තුනහමාරක් මුළුල්ලේ මේ ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි. මේ ආර්ථිකය තව අවුරුදු එකහමාරක් මේ අයට පාලනය කරන්න කොහෙත්ම බැහැ. හෙට අනිද්දා වෙද්දි ඩොලර් එක 165 දක්වා යයි කියලා විවිධ සංවිධාන පවසනවා.

3. ආණ්ඩුව හිතුවොත් තව මාස තුන හතරක් යද්දි පළාත් සභා ඡන්දය තියන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව හිතනව නම් පළාත් සභා ඡන්දය තියලා මේ රටේ ආර්ථික වාතාවරණයයි, ජනතාව පීඩාවට පත්වෙලා තියෙන එකයි නතර කරන්න පුළුවන් කියලා ඒක කරන්න බැහැ. ඒ නිසා තමයි මොවුන් මේ විදියට පළාත් සභා ඡන්දය කල් දාන්නේ.

4. ඇත්තටම මේ ආණ්ඩුව වැඩ කරන්නේ එදිනෙදා ටුවර්ස් වගේ තමයි. පාර්ලිමේන්තුව කල්දාන්න රටේ විශාල දේශපාලන ව්‍යාකූල තත්ත්වයක් ඇත්තටම තිබුණේ නැහැ. 08 වැනිදට පාර්ලිමේන්තුව තුළ කතාවක් කළා කියලා ඒ කථාව තුළ මොනව හරි පොරොන්දු මාත්‍රා ටිකක් එයි. ඒ ඇරෙන්න වෙන මොනවත් වෙන එකක් නැහැ.

රුපියල වැටීමේ බරත් වැටෙන්නේ ජනතාවගේ කර මතට

ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

1. රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කරමින් ඒ බදු මුදල් වලින් ගන්න අධි සුඛෝපභෝගී වාහනවලින් මේ ඇමැතිවරු රටේ ජනතාවගේ ඇස් නිලංකාර කරවන සංදර්ශනයක් කරනවා. රටේ නායකයා ශ්‍රීලනිපය තුළ තමන් මුහුණ දෙන අර්බුදය රටේ ප්‍රශ්නයක් බවට නිර්මාණය කරනවා. ඉතින් ඒ ප්‍රශ්නවල ආදීනව විඳින්න වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට.

2. මේක තමයි ඉතිහාසයේ රැපියල වැඩියම බාල්දු වුණු පළමු අවස්ථාව. මේ අනුව අපේ රටේ ආනයන වියදම් ඉහළ යනවා. ඉන්ධන මිල, ගෑස් මිල, විදුලි බිල, සාමාන්‍යයෙන් ගත්තොත් භාණ්ඩ හා සේවා සියල්ලම ඉහළ යනවා. මොකද තවමත් අපි ආනයන මත දුවන රටක්. ඉතින් මේ සියලු කාරණා සලකා බැලුවට පස්සේ මේ සියලු බදු ජනතාව පිට පැටවෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ.

3. පළාත් සභා ඡන්දය පැවැත්වීමට දැන් කිසිදු බාධාවක් නැහැ. පාර්ලිමේන්තුවට සීමානිර්ණය කොමිසමේ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම පහුගිය පළාත් පාලන මැතිවරණයේ තිබුණු යම් යම් තාක්ෂණික දෝෂ නිවැරදි කරගෙන අලුත් මැතිවරණ ක්‍රමයකට රට ගමන් කළ යුතුව තිබෙනවා. දැන් ආණ්ඩුව පැත්තෙන්ම කියනවා අර පෙර මනාප ක්‍රමයටම යන්න ඕන කියලා. ඒක මහ පසුගාමී අදහසක්. ඒ නිසා අපි හිතනවා අපි පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ලද පළාත් සභා මැතිවරණ ක්‍රමය අනුව මේ වසර අවසාන වෙන්න කලින් පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි කියලා.

4. පාර්ලිමේන්තුව කල්දැමීම සඳහා රටේ ජනතාවගෙන් හෝ පාර්ලිමේන්තුව තුළින් ඉල්ලීමක් ආවේ නැහැ. මෙය ජනාධිපතිවරයා විසින් තමන්ට ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල පාවිච්චි කරලා කරපු දෙයක්. ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාවෙන් බලය පැවරුණාටම එසේ ක්‍රියාත්මක කිරීම සාධාරණ නැහැ. ඒ ගනු ලබන ක්‍රියාව සාධාරණයි කියලා ජනතාවට පේන්නේ නැත්නම්. ඒ නිසා මේ පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කළේ ශ්‍රිලනිපයේ අර්බුදය තාවකාලිකව යටපත් කරගන්න.

ජනපති අගමැති එකතුවෙලා ආණ්ඩුව ගෙනියන්න ඕනෑ

කම්කරු ජාතික පෙරමුණේ නායක  අමාත්‍ය පලනි දිගම්බරම්

1. මේ ආණ්ඩුවේ ඉඳගෙන ඉවත්වෙලා ගියපු ශ්‍රීලනිපයේ 16 දෙනා තමයි මේ ආණ්ඩුවට විරුද්ධ කඩාකප්පල්කාරීව කටයුතු කළේ. නමුත් ආණ්ඩුවටත් එහෙම කරන්න බැහැ. යහපාලනය කියන්නේ සමගියෙන් කටයුතු කරන්න ඕන කියන එක. ඒ නිසා අපි කියන්නේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි කතා කරලා මේක ඉදිරියට ගෙනියන්න ඕන.

2. ඇත්තටම ඒක ලොකු ගැටලුවක්. පහුගිය ආණ්ඩුවේ අවිධිමත් වැඩපිළිවෙළ නිසා රටට ගත්ත ණය නිසා තමයි දවසින් දවස මේ රැපියලේ අගය පහත වැටෙන්නේ. අපි යහපාලන ආණ්ඩුව ඉක්මනටම මේ තත්ත්වය පාලනය කරන්න පියවර ගන්නවා.

3. පළාත් පාලන ඡන්දය අලුත් ක්‍රමයට තියලා අනාගත්තා. අපි කියන්නේ මේ පළාත් සභා ඡන්දය පැරුණි ක්‍රමයට ඉක්මනින් තියන්න කියලා. ඇත්තටම පහුගිය ඡන්දය තිබ්බ ක්‍රමය අවුල් ජාලයක්නේ. ඒ නිසා පළාත් සභා ඡන්දය තියන්න හොඳම ක්‍රමය තමයි පැරැණි මනාප ක්‍රමය.

4. මේ පළවෙනි අවස්ථාව නෙවෙයි මෙහෙම පාර්ලිමේන්තුව කල් තබපු. මේකේ ලොකු විශේෂයක් නැහැ. මීට කලිනුත් ඔහොම කරලා තියෙනවා. ආණ්ඩුව මේ පාර්ලිමේන්තුව කල්තැබීම තුළින් මොනවත් පටු අරමුණු බලාපොරොත්තු වුණේ නැහැ.

මේ ආණ්ඩුව දැන් පරණ කාර් එකක් වගේ

ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර

 

1. මේ මොහොතේ ලංකාවේ දේශපාලනයේ තියෙන ප්‍රධාන කතිකාව තමයි ආණ්ඩුවේ ගමන් මඟ. කුමන පැලැස්තර මේ ආණ්ඩුව ගහන්න හැදුවත් ඒ අය රට අගාධයට ඇද දාලා ඉවරයි. රටේ වැඩකරන ජනතාවට මේ ආණ්ඩුව දැන් එපාවෙලා තියෙන්නේ. මේ තත්ත්වයට පාලකයන් උත්තර හොයන්නේ නැහැ. ඒවට තාවකාලික පැලැස්තර ගහනවා විතරයි.

2. පැහැදිලි ලෙසම රුපියලේ අගය දිනෙන් දින පහළ වැටෙනවා කියන්නේ රටේ ආයෝජන බිඳ වැටෙනවා. බැංකුවල මුදල් සංසරණය වීම කඩා වැටෙනවා. ඇත්තටම අද රටේ ආර්ථිකය කඩා වැටිලා ඉවරයි. මෙය මුළු ලාංකික ජනතාවටම බලපාන කාරණයක් වෙලා තියෙන්නේ.

3. පළාත් පාලන මැතිවරණයට කරපු දේම තමයි මේ ආණ්ඩුව පළාත් සභා ඡන්දයටත් කරන්නේ. මේ ආණ්ඩුවට ඡන්ද තියලා ජනවරමක් ගන්න බැහැ කියලා දැන් පැහැදිලියි. කෙසේ මොන තත්ත්වයක් මොවුන් නිර්මාණය කළත් පළාත් සභා ඡන්දය මේ අවුරුද්දේ තියන්න වෙනවා. නමුත් ඇත්තටම මොවුන් මේ ඡන්ද කල්දාන්නේ ඡන්දවලට යන්න බය නිසා.

4. පරණ ලාන්තරස් කාරෙකකට අලුත් පේන්ට් එකක් ගාන්න බැහැනේ. අලුතින් පේන්ට් කළත් පරණ මලකඩ පේනවා. ඇන්ජින් පරණයි. යන්න බැහැ. මේ ආණ්ඩුවත් ඒ පරණ ලාන්තරස් කාරෙක වගේ තමයි. ප්‍රතිපත්තිවල, දැක්මේ වෙනසක් නොකර පැලැස්තර විසඳුම්වලින් මේ රට ගොඩදාන්න බැහැ.

 

මොන ප්‍රශ්න ආවත් ආණ්ඩුව යනවා

සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සභික මොහමඩ් නවවි

1. දේශපාලන ප්‍රශ්නත් රටේ තියෙනවා. නමුත් ජනතාවගේ ප්‍රශ්නවලට මේ ආණ්ඩුව පිළිතුරු ලබාදීලා තියෙනවා. ඒ වගේම තමයි පහුගිය කාලයේ ශ්‍රීලනිපයේ 16 දෙනෙක් මේ යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වුණා. නමුත් ඒ අය නැවත ආණ්ඩුවට එනවා කියලා වාර්තා වෙනවා. විපක්ෂයට යනවා කියලා තියෙනවා. මේ ඔක්කොම බලාගන්න පුළුවන් වෙන්නේ ලබන 08 වැනිදාට තමයි. නමුත් කොහොම වුණත් මේ යහපාලන රජය ඉදිරියට යනවා.

2. රටේ ආර්ථිකය අපිට හම්බවෙනකොට කඩා වැටිලා තිබුණේ. පහුගිය රජය ලබාගත්ත ණය නිසා. අපි පහුගිය වසර තුනහමාරක කාලය තුළ යම් මට්ටමකට මේ රටේ ආර්ථිකය හරි ගස්සලා තියෙනවා. ඉතා ඉක්මනට ආර්ථිකය හොඳ තත්ත්වෙට ගන්න අපි කටයුතු කරනවා.

3. පළාත් පාලන ඡන්දය අලුත් ක්‍රමයට තියලා සභා පිහිටුවීමේදී අර්බුද රාශියක් මතුවුණා. පළාත් සභා ඡන්දයේදී මෙවැනි අර්බුද නිර්මාණය නොවෙන විදියට මේ පළාත් සභා ඡන්දය ඉතා ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය වැඩකටයුතු මේ ආණ්ඩුව විසින් සිදුකරයි.

4. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් ආණ්ඩුවට නිසි අරමුණක් ඉටුකර ගැනීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා තමයි මම හිතන්නේ. අනිත් එක එක දවසක් තමයි ඒ මාසය තුළ පාර්ලිමේන්තුව පැවැත්වීමට තිබුණේ. මීට කලිනුත් එහෙම වුණු අවස්ථා තිබුණා.

සංස්කරණය : 
හසිත් අංජන 
සේයාරූ / අන්තර්ජාලයෙනි