2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

කියුබාවේ නව පෙරළිය

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 236

වසර හැටකට පසු කියුබාවේ නව පෙරැළියක් සිදුව තිබේ. කස්ත්‍රෝ කුලයට අයත් නොවූ නමුත් එම කුලකයටම අයත් පාලකයකු බිහිවීමත් සමගිනි. වඩාත් ලිබරල්වාදි අදහස් දරන නව ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පදවිප්‍රාප්ත වූයේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ ඇතුළු පාලක කොමියුනිස්ට් පක්ෂයේ ආශීර්වාදය සමගය. 

පනස් හත් හැවිරිදි වියේ පසුවන නව ජනාධිපති මිගෙල් මාරියෝ ඩයස් කැනාල් බර්මියුඩේස් විප්ලවයට පසුව උපන් පරම්පරාවට අයත් වූවෙකි. නමුත් ඔහුද දේශපාලනය තුළ මැනැවින් තෙම්පරාදු වූ පරම්පරාවකට අයත් කැස්ත්‍රෝ කුලකයේම ඒ පන්නයටම හැඩගැසුණු චරිතයකි. ඔහු වයස 20දී දේශපාලන ගමන අරඹා ඇත්තේ කොමියුනිස්ට් තරුණ ලීගයේ ක්‍රියාකාරිකයෙක් ලෙසිනි. ඉංජිනේරු වෘත්තිකයකු වන ඔහු රටේ අධ්‍යාපන ඇමැති ධුරයද උප ජනාධිපති ධුරයද දැරූ දේශපාලනඥයෙකි. දැන් ඔහු කියුබාවේ 19 වැනි ජනාධිපතිවරයාය.

වර්ෂ 1959 ඓතිහාසික කියුබානු විප්ලවයත් සමග ඇතිවූ වෙනස තුළ එතෙක් රටේ වැඩිම කලක් ජනාධිපති ධුරය දරන්නට සමත් වූ අසහාය නායකයා ලෙස ෆිදෙල් කස්ත්‍රෝ බිහිවිය. 1976 දෙසැම්බර් 02 රටේ 15 වැනි ජනාධිපති බවට පත්වූ ෆිදෙල්, 2008 පෙබරවාරි 24 සිය සහෝදරයාට බලය පවරන තුරු වසර 31යි දින 84ක් බලයේ සිටියේය. ඊට පෙර හෝ පසු කිසිදු ජනාධිපතිවරයෙක් එබඳු දීර්ඝකාලයක් රටේ බලය හොබවා නැත. කොටින්ම කියුබාවේ ජනාධිපතිවරුන් පිළිබඳ ඉතිහාසයේ එක් දිනයක් පමණක් බලය දැරූ ජනාධිපතිවරුන් දෙදෙනකුද ෆිදෙල්ට කලින් වූහ. තවත් ජනාධිපතිවරයකු වන කාලෝස් ෆැමියා බලයේ සිටියේ දින 3කි. මනුවෙල් ස්ටර්ලින් උදේ දිවුරුම් දී හවස ගෙදර ගියේය. අමෙරිකානු ආධාර ලැබූ ඒකාධිපතියා ලෙස හැඳින්වෙන බැටිස්ටා ද දෙවැනිවර ජනපතිධුරය දැරුවේ වසර 6යි දින 297ක් පමණි. ෆිදෙල්ට පෙර වැඩිම කලක් බලයේ සිටියේ වසර 17යි දින 137ක් ජනපති ධුරය හෙබැවූ ඔස්වැල්ඩෝ ටොරාබෝ පමණි.

රාවුල් කස්ත්‍රෝ 2008 පෙබරවාරියේ රට බාරගත් අතර පැවැති ක්‍රමයේ ලොකු වෙනසක් කරන්නට කටයුතු කළේ නැත. එයින් බොහෝ කලක් ගතවනතුරුම සැබෑ ලෙසම තිරයෙන් පිටුපස සිට 2016 මිය යනතුරුම රට පාලනය කළේ ෆිදෙල් කස්ත්‍රෝම බව එකල එල්ල වූ විවේචනාත්මක අදහසකි. වසර 10ක් සහ දින 54ක් ගෙවුණු රාවුල් කස්ත්‍රෝගේ පාලනය අවසන් වූයේ පසුගිය බ්‍රහස්පතින්දාය. ඒ සමගම වසර 60ක් පැවැති කස්ත්‍රෝ කුලයේ පාලන සමය අවසන් වන්නේය. 

නමුත් විචාරාත්මක විවේචන එල්ල වී ඇත්තේ අලුත් මුහුණක් ආදේශ කළාට රටේ පාලනයේ වෙනසක් වී නොමැති බවටය. එය වඩාත් සනාථ කරන අදහසක් නව ජනාධිපතිවරයා සිය මුල් කතාවේදීම ප්‍රකාශ කර තිබුණි. තමන්ගේ පූර්වගාමීන් වූ, ෆිදෙල් සහ රාවුල් ගෙනගිය සමාජවාදී විප්ලවීය වෙනස දිගටම පවත්වා ගැනීමට තමන් කටයුතු කරන බව කියමිනි. රාවුල් මෙයට උල්පන්දම් දුන්නේ නව ජනාධිපතිවරයා සෝවියට් දේශය බිඳවැටීම නිසා සිය රට ආර්ථික අගාධයට ඇදවැටුණි. 90 ගණන්වල කොමියුනිස්ට් පක්ෂ නිලධරයකු ලෙස මහත් කැපවීමක් සිදුකළ අයකු බව කියමිනි. ඔහු වැඩිදුරටත් කීවේ ඉදිරි ධූර කාල දෙකම යහතින් ගෙවා දමා තවත් වසර 10කට පසු 2021 දී දැන් තමා දරන කොමියුනිස්ට් පක්ෂයේ උත්තරීතර නායක පදවිය ලබාගන්නට නව ජනාධිපතිවරයාට හැකිවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවය. මේ ප්‍රකාශය තුළ සැඟව ඇති සත්‍යය නම් තවදුරටත් ඉදිරි වසර 10ක කාලය තුළ පාලක පක්ෂයේ උත්තරීතර නායකයා ලෙස රාවුල් කස්ත්‍රෝම රටේ පාලනය ගෙනයන බවයි.

කියුබාවේ මහ පුටුවට අලුත් මුහුණක් එක් වුවද අමෙරිකාව සහ කියුබාව අතර මෑතක සිට නැවත හටගත් විරසකය අවසන් වන ලකුණු පහළ වී නැත. බැරක් ඔබාමා පාලනය තුළ කියුබානු සම්බාධක ලිහිල් කරමින්, දෙරටේ සාමය සඳහා වැඩ පිළිවෙළක් ඇරැඹුණද ට්‍රම්ප් පාලන කාලය තුළ නැවතත් ඉපැරුණි අළු යට ගිනි ඇවිල ගියේය. මේ තත්ත්වය තවත් ඉහළ දමන ඉතා ආසන්නතම ප්‍රකෝපකාරී සිද්ධියක් නව කියුබානු ජනපති නම්කළ දිනයේම වාර්තා වූයේය. හවානාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වෙත අති ධ්වනි තරංග ප්‍රහාරයක් එල්ල වූ බවට පළවූ වාර්තාවක් ඇතිකළ කලබැගෑනිය හේතුවෙනි. 

අමෙරිකානු නිලධාරීන් 22කට මේ ප්‍රහාරයෙන් ශාරීරික අනතුරු සිදුව ඇති බව වාර්තා විය. මේ සමග අමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍ය සහ කියුබාව අතර විරසකය නව වටයකින් ඇරැඹී තිබේ. කැනඩාව සිය තානාපති නිලධාරීන් සහ පවුල් ඉදිරි සතිවලදී කියුබාවෙන් ඉවත්කර ගන්නට කටයුතු කරන බව දන්වා තිබුණේ එහෙයිනි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00