2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

සිරියා රසායනික ප්‍රහාරය යුද්ධයකට මුල පුරයි?

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 213

සිරියාවේ රසායනික ප්‍රහාර එල්ල වූ බව පැවසෙන ස්ථානයේ සංචාරය කිරීම සඳහා රසායනික අවි පිළිබඳ අන්තර්ජාතික පර්යේෂකයන්ට බදාදා වනවිටද අවසර ලැබී තිබුණේ නැත. මේ රසායනය හේතුවෙන් 40 දෙනකු මියගිය බව වාර්තා විය. රසායණික අවි ප්‍රහාරය දඩමීමා කරගනිමින් මේ වනවිට සිරියාව වෙත ඇරඹී ඇති අමෙරිකා ප්‍රමුඛ රටවල ප්‍රහාර ලෝක යුද්ධයකට මුල්වනු  ඇතැයි රුසියාව අනතුරු අඟවා තිබේ. 

රසායනික අවි පිළිබඳ සොයා බලන ජාත්‍යන්තර කණ්ඩායම පසුගිය සෙනසුරාදා සිට සිරියාවට ගොස් සිටින නමුත් ඩුමා නගරයේ සංචාරය කිරීමට අවසර නොලැබිණි. ප්‍රංශ විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ මේ රසායනය ක්ලෝරීන් බවය. පසුගිය පෙබරවාරියේ  මෙබඳු රසායන ප්‍රහාරයක් වාර්තා වූ අතර එයින් පුද්ගලයන් 1700ක් මියගිය බවද වාර්තා විය. 

අප්‍රේල් 07 වෙනි දින එල්ල වූ එම ප්‍රහාරයෙන් සතියකට පසු සිරියානු ඉලක්ක වෙත ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශ හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාර බෂාර් අල් අසාද්ගේ රසායණික ප්‍රහාර අඩපණ කිරීමට සමත්ව නැතැයි පෙන්ටගනය කියයි. සිරියාව සහ එහි මිත්‍ර පාර්ශවය වන රුසියාව, රසායනික අවි ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරති. මෙය බෂාර් අල් අසාද් රජයට එරෙහිව ගොතන ලද ව්‍යාජ පුවතක් ලෙස රුසියාව ප්‍රකාශ කර තිබුණි.

ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය සිරියාවේ ඉලක්ක වෙත එරට වේලාවෙන් සෙනසුරාදා උදෑසන මිසයිල ප්‍රහාර එල්ල කළහ. සිරියාවේ රසායනික අවි ඇතැයි සැලකෙන ස්ථාන ඉලක්ක කරමින් එරට ඉලක්ක ගණනාවකට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ගුවනින් බෝම්බ හෙලූහ. දමස්කස් අගනුවර මෙන්ම හොම්ස් නගරය ආසන්න ස්ථාන දෙකක පිපිරීම් සිදුවූ බව පෙන්ටගනය පැවසීය.

වසර හතක් ගෙවී ඇති සිරියානු යුද්ධය තුළ ජනාධිපති බශාර් අල් අසාද්ගේ ආණ්ඩුවට එරෙහිව බටහිර බලවතුන් විසින් දියත් කරන ලද මෙම ප්‍රහාර මාලාව වඩාත් සුවිශේෂී යැයි සැලකේ. ප්‍රහාර එල්ල කෙරුණු ඉලක්ක තුනක් පිළිබද ජෙනරාල් ජෝසෆ් ඩන්ෆර්ඩ් පැහැදිලි කළේය

රසායනික හා ජීව විද්‍යාත්මක අවි නිපදවීමට සම්බන්ධ යැයි සැලකෙන දමස්කස්හි පිහිටි විද්‍යාත්මක පර්යේෂණායතනයක්, බටහිර හොම්ස්හි පිහිටි රසායනික අවි ගබඩාවක්, හොම්ස් නගරයට ආසන්න රසායනික අවි උපකරණ ගබඩාවක් හා පාලන ස්ථානයක් මේ අතර වෙති. මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් බිම හෙලා ඇති බව වාර්තා කළ සිරියානු රජයේ රූපවාහිනිය, දමස්කස් නගරයේ පර්යේෂණායතනයට පමණක් හානි වී ඇති බව කීය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00