2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

ජාතියේ මාතාව සමුගනියි!

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

සිය ස්වාමි පුරැෂයාගේ යුග මෙහෙවරට ඇය ශක්තියක් වූවා පමණක් නොව ඇය එම ව්‍යාපාරයෙහි පුරෝගාමී චරිතයක් ද වූවාය. ඇය සිය ස්වාමි පුරුෂයා ද සමගින් සිරගත වූයේ ද, එම අරගලයේදී දැක්වූ දායකත්වය නිසාමය. ඇය මැන්ඩෙලාගේ දෙවැනි බිරිය වුවද ජිවිතයට වඩාත් සමීප වූ තැනැත්තිය වූවාය. නෙල්සන් අවසන් හුස්ම හෙලුවේද ඇගේ අත අල්ලාගෙනය. වසර 1991 සිට 2003 දක්වාද 2009 සිට මියයන තුරුද පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලෙස ක්‍රියා කළ විනී මැන්ඩෙලා 1994 සිට 1996 දක්වා කාලය තුළ දකුණු අප්‍රිකාවේ කලා, සංස්කෘතික, විද්‍යා සහ තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය.

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සාමාජිකාවක වූ ඈ එහි විධායක කමිටු සාමාජිකාවකි. ඇය ජනතාව අතර කෙතරම් ජනාදරයක් දිනා සිටියාද යත් ඔවුන් අතර ඈ හැඳින්වුණේ “ජාතියේ මාතාව” හැටියටය. ඇයගේ ජීවිත කතාව අළලා 2011 වසරේදී ‘විනී මැන්ඩෙලා’ නමින් චිත්‍රපටයක් ද නිර්මාණය විය.

ඇය නැගෙනහිර කේප් ප්‍රාන්තයේ මොග්වෙනි ගමේ 1936 වසරේ උපත ලැබුවාය. කොලම්බස් සහ ගර්ට්රෑට් නම් වූ ඇගේ මව්පිය යුවළම ගුරුවරුන්ය. මවගේ මරණයත් සමඟ පවුලේ අනෙක් සාමාජිකයන් හත් දෙනාගෙන් වෙන් වූ ඈ කළු ජාතිකයන්ට වැඩිදුර අධ්‍යාපනයට තිබූ බාධා හේතුවෙන් පසුව සමාජ සේවිකාවක ලෙස සේවය කළාය. 1957 වසරේදී ඇයට නිතීඥයකු මෙන්ම වර්ගවාදයට එරෙහි ක්‍රියාකාරිකයකු වූ නෙල්සන් මැන්ඩෙලා හමුවීය. ඒ වනවිටත් නෙල්සන් එව්ලින් මේස් සමග විවාහ වී සිටියේය. සොවෙටෝ හි බස් නැවතුමක සිටි 22 හැවිරිදි විනී දුටු නෙල්සන් ඈ සොයා පැමිණියේය. ඉන්පසු 1958 වසරේදී ඔහු සමග විවාහ වූ විනී, දියණියන් දෙදෙනෙකුගේ මවක වූවාය.

පසුව 1963 වසරේදී නෙල්සන් මැන්ඩෙලා සිරගත කෙරුණු අතර ඔහු 1990 වනතෙක් නිදහස ලැබුවේ නැත. නෙල්සන් සිරගතව සිටියදී අරගලයට නායකත්වය දුන්නේ ඇයයි.  ඇය තනිව නැගී ආ බලවේගයක් ලෙස දුටු වර්ගවාදී පාලකයෝ විනී නිවාස අඩස්සි ගත කළහ. මෙම මුළු කාලය ඇතුළත විනී සහ නෙල්සන් වෙන්ව සිටි අතර 27 වසරක් බන්ධනාගාරගතව සිටි නෙල්සන් මැන්ඩෙලා නිදහස් වූ අවස්ථාවේ විනී මැන්ඩෙලා ඔහු අතිනත ගෙන බන්ධනාගාරයෙන් පිටතට පැමිණි අවස්ථාව ලොව පුරා මහත් අවධානයට ලක් වූ දසුනක් වූයේය. නමුත් 1992 වසරේදී මේ දෙදෙනා දික්කසාද වූහ. විනී මැන්ඩෙලාගේ ඥාතීන් පවසන්නේ, ඇය දීර්ඝකාලීනව රෝගී තත්ත්වයක පසුවූ බවය. 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30