2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

යූ ටියුබ් මරාලය

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි “යූ ටියුබ්” මූලස්ථානයට කඩාපැන්න කාන්තාවක් පුද්ගලයන් තිදෙනෙකුට වෙඩිතබා තමන්ද දිවි නසා ගත්තාය. අනතුරින් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, 32 සහ 27 වන වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි. වෙඩි වැදුණු පුද්ගලයා ප්‍රහාරය එල්ල කළ කාන්තාවගේ පෙම්වතා බව  පොලීසිය ප්‍රකාශ කළේය. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, තුවාල ලැබූ අයගේ තත්ත්වය ඉතා බරපතළ බවය. තිස්නව හැවිරිදි නසීම් අග්දම් නමැති ඇය, “යූටියුබ්”අඩවියේ  පවත්වාගෙන ගිය පෞද්ගලික ගිණුමක් ඔස්සේ ප්‍රචාරය කළ වීඩියෝ පට එම ආයතනය විසින් නිරීක්ෂණය කර ඉවත්කරනු ලැබීම වෙඩි තැබීමට හේතුව ලෙස වාර්තා විය.

ඇය පෞද්ගලික “යූ ටියුබ්” නාලිකාවක් සහ වෙබ් අඩවියක් ඔස්සේ සත්ත්ව හිංසනයට එරෙහි ක්‍රියාකාරිනියක් ලෙස පෙනී සිටි අතර, මස් මාංශ ආහාරයට නොගෙන තම ශරීරයේ මස්පිඬු වර්ධනය කරගන්නා කාන්තාවක් ලෙස මෙන්ම කලාකාරිනියක් සහ “රැප්”ගායිකාවක් ලෙසද හඳුන්වනු ලබයි. ඇය විසින් පවත්වා ගෙන ගිය “නසීම් වොන්ඩර්1” (Nasime Wonder1) “යූ ටියුබ්” නාලිකාවේ පන්දහසකට ආසන්න ග්‍රාහකයන් පිරිසක් සිට ඇත. නමුත් ඇයගේ වීඩියෝ වෙනත් “යූටියුබ්” නාලිකා ඔස්සේද ප්‍රචාරය වී තිබුණි.

“යූ ටියුබ්” ආයතනය ඇයගේ වීඩියෝ සඳහා ගෙවීම් නතර කළ නිසා නසීම් කෝපයෙන් පසු වූ බව ඇයගේ පියා, ඉස්මයිල් සඳහන් කර ඇත.

අඟහරුවාදා (03) දින “සැන් බෘනෝ” ප්‍රදේශයේ පිහිටි “යූ ටියුබ්” මූලස්ථානයේ සේවකයන් දහවල් ආහාරය ලබාගන්නා ස්ථානයට පිටත පිහිටි දොරකින් ඇතුළු වූ නසීම් ඉහත කී වෙඩිතැබීම සිදුකර ඇත. “යූ ටියුබ්” මූලස්ථානයෙහි සේවකයන් පිරිස 1,700කට ආසන්නය. මෙහි හිමිකාරිත්වය දරන්නේ “ගූගල්” ආයතනය වන අතර කැලිෆෝනියා ප්‍රදේශයේ පිහිටි විශාලතම සේවායෝජකයා වේ. මෙවැනි “වෙඩි තැබීම්” මින් පෙර බොහෝවිට සිදුකර ඇත්තේ පුරුෂයන් විසිනි. 2000 - 2013 වර්ෂ අතර වාර්තා වුණ සිද්ධීන් 160 ක් අතරින් කාන්තාවන් විසින් සිදුකළ වෙඩි තැබීම් ඇත්තේ හයක් පමණක් බව අමෙරිකානු රහස් ඔත්තු සේවා වාර්තාවක සටහන් වී ඇත.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00