2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

ඉන්දියාව පුරා කුල සටන දරුණුවෙයි

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් පසු තම කුලයට අයත් පිරිසට නීතියෙන් ලැබෙන ආරක්ෂාව අවමවීම මුල්කොට ඉන්දියාවේ පීඩිත කුලයක් ලෙස සැලකෙන දලිත් කුලයට අයත් පිරිස් රට පුරා දියත් කළ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් අට දෙනෙකු මියගොස් තිබේ. මෙම විරෝධතා හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබෙන අතර මධ්‍ය ප්‍රදේශ්, උත්තර්, බිහාර් හා රාජස්තාන් ඇතුළු ප්‍රාන්ත කීපයක මහාමාර්ග රැසක් අවහිර වී තිබේ. දැන් විරෝධතාව නවදිල්ලියටද පැමිණ හමාරය.

මේ අරගලයට බලපෑ තීන්දුව නැවත සලකා බලන ලෙස මධ්‍යම ආණ්ඩුවද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා තමන් “අනතුරට භාජනය විය හැකි” ජන සමූහයක් ලෙස හැඟෙන බව දලිත් ප්‍රජාවේ නායකයෝ ප්‍රකාශ කර සිටිති. SC/ST නමැති පනතෙන් ඉන්දියාවේ වෙසෙන දලිත් ප්‍රජාවට එරෙහිව සිදුකරන ඕනෑම වෙනස් කොට සැලකීමක් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා තිබුණි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නව  තීන්දුවෙන් පසු එම නීතිමය බැඳීම නැතිව යන බව ඉන්දියාවේ පීඩිත කුල එකතුවෙන් පිහිටුවා ඇති සංවිධානය කියයි.  

1989 උපලේඛනගත කුලය සහ උපලේඛනගත ගෝත්‍රය (ක_රත්වය වැළැක්වීමේ) පනතෙහි ඇතුළත් වී ඇත්තේ ඉන්දියාවේ ජීවත්වන පීඩිත කුල සහ ගෝත්‍රවලට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් ඇති නීති සහ දඬුවම්ය. ඉන්දියාවේ එවක පැවති නීති පද්ධතියෙන් පීඩිත කුලවලට අයත් ජන කොට්ඨාස ආරක්ෂා වන්නේ නැති නිසා මෙම පනත සම්මත කර ගන්නා ලදී.

පීඩිත කුලයකට හෝ ගෝත්‍රයකට අයත් පුද්ගලයෙකුට එරෙහිව යම් කිසි අපරාධයක් සිදු කළ විට ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමේ හැකියාවත්, ඇප ලබාදීම සීමා කිරීමත්, එම අපරාධය ස්වයංක්‍රීයව ලියාපදිංචි කිරීමත් මෙම පනතෙන් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම කිසියම් අපරාධකරුවෙකුගේ දේපල තහනම් කිරීමටද මෙම පනත යටතේ හැකියාවක් ඇත. පීඩිත කුලවලට අයත් පුද්ගලයන් රජයේ ආයතනවලට ඉදිරිපත් කරන පැමිණිලි සැලකිල්ලට ගන්නේ නැති අතර, මෙය බොහෝවිට සිදුවන්නේ එම කුලවලට අයත් නිලධාරීන්ගෙන් බව ඔවුහු පවසති. මේ ආකාරයෙන් රාජකාරිය පැහැර හරින රජයේ සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් මෙම පනතෙන් ලබාදී ඇත. මෙම කුලවලට එරෙහිව සිදු වන තවත් වධහිංසා ඇතුළත් කර SC/ST පනත 2015 දී සංශෝධනය කරන ලදී. “දැඩි ලෙස අවභාවිතා” කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වන්නේ මේ කියන SC/ST පනතය.

2015 වර්ෂයේදී කුල ගැටුම් මුල්කොට ගෙන ලැබුණ පැමිණිලිවලින් 15-16%ක් ප්‍රමාණයක් ව්‍යාජ පැමිණිලි සහ පෞද්ගලික අමනාපකම් මත සිදුකළ පැමිණිලි බවට වාර්තා වී ඇත. මේ හේතුවෙන් SC/ST පනත “දැඩි ලෙස අවභාවිත” කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය. මෙම තීරණයෙන් SC/ST පනත යටතේ ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමේ හැකියාව සහ අපරාධය ස්වයංක්‍රීයව ලියාපදිංචි වීම නවතා දැමුණු අතර, යම් කිසි සිද්ධියක් වාර්තා වීමෙන් පසු පොලීසිය විසින් ප්‍රාථමික පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කරනු ලැබ ඇත. මෙම පරීක්ෂණය සිද්ධිය වී දින හතක් ඇතුළත සිදුකළ යුතු විය.

අදාළ අත්අඩංගුවට ගැනීම එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් අනුමත කරනු ලැබිය යුතු බවටද මෙම අධිකරණ තීරණයේ අඩංගු විය. එමෙන්ම රජයේ සේවකයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අදාළ නිලධාරියා පත්කළ බලධාරියාගේ ලිඛිත අවසරය ලබාගැනීම අනිවාර්ය කර ඇත. මෙම තීරණය හේතුවෙන් පීඩිත කුලවලට එරෙහිව සිදුවන අපරාධ ඉහළ යා හැකි බවට විවේචන එල්ල වී ඇත.

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30