2018 මාර්තු 31 වන සෙනසුරාදා

පිටසක්වළ මමියේ අබිරහස විසඳෙයි

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 332

අටකාමා යනු ලොව ඇති වියළිම ස්ථානය වශයෙන්ද හැඳින්වෙන මහා කාන්තාරයකි. 2003 වසරේදී මේ අටකාමා කාන්තාරයෙන් පිටසක්වළ ජීවියෙකුගේ යැයි සැකකළ මළසිරුරක් හමුවිය. මිනිස් රූපයකට බොහෝ අතින් සමාන එය ඊජිප්තුවේ ඉපැරැණි මමියක් බඳුවිය. අටකාමා කතරෙන් හමුවූ නිසා එදා එයට ලබාදුන් නම වූයේ ‘අටා’ ය. ‘අටකාමා හියුමනොයිඩ්’ හෙවත් ‘අටා’ යනුවෙන් මමියකට සමාන මෙම මළසිරුර  එදාසිට ලොව පරසිඳු විය.

අසාමාන්‍ය ලෙස දික්වූ හිස්කබල එම අටා දේහයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. එහි ඇස් විවරද අසාමාන්‍ය ලෙස ඇතුළට ගිලී තිබිණි. අතිශයින්ම අසාමාන්‍ය ලෙස කුඩා වූ ශරීරයකි, එයට ඇත්තේ. එහි දිග අඟල් 6 ක් පමණක් විය. එහි ඉළ ඇට දෙකක් අතුරුදන්ව තිබුණේය. මේ සියලු අසාමාන්‍ය ලක්ෂණ නිසා එය පිටසක්වළ ජීවියෙකුගේ මළ සිරුරක් බවට ලොව පිළිගත් විද්‍යාඥයෝ පවා සැක පළ කළහ. 

‘අටා’ ඒලියන් හෙවත් පිටසක්වළ ජීවියෙකු බව දක්වන චිත්‍රපට පවා නිපදවිණි. අටා ගැන කතාව දැන් නැවත කරළියට පැමිණ තිබෙන්නේ පිටසක්වළ ජීවියෙක් බවට මෙතෙක් සැලකුණු එම අටා, සැබවින්ම විකෘති වූ මහ පොළොවේ අනේක දුක් වේදනා විඳි ළදරුවෙකුගේ මළසිරුරක් බව හෙළිවීමත් සමඟය. 

අටකාමා කතර ආශ්‍රිතව චිලී දේශය පිහිටා තිබේ. අටා හමුවූයේ අටකාමා කතරේ චිලී රාජ්‍යයට අයත් නුවරකිනි. අවසානයේ නියම වූයේ සවිස්තරාත්මක ජාන පරීක්ෂාවකට මෙම සිරුර ලක් කරන්නටය. ස්ටැන්ෆර්ඩ් සරසවියේ අණුක ජීව වෛද්‍ය විද්‍යාඥෙයෝ 2013 වසරේදී එහි වගකීම භාරගත්හ. ඒ අනුව පසුගියදා එම ජාන පරීක්ෂාවේ ප්‍රතිඵල එළිදැක්වුණු අතර, එහිදී හෙළිවූයේ එය ‘අනුමාන කළ නොහැකි තරම් විකෘතිතාවන්ගෙන් යුක්ත’ මනුෂ්‍ය ශරීරයක් බවය. දිගින් අඟල් 6ක් පමණක් වුවද එම ශරීරය වසර 6 ත් 8 ත් අතර දරුවෙකුගේ බවටද ඔවුහු නිගමනය කළහ. එසේම මෙයට වසර 15කට පෙර සොයා ගැනුණද එම සිරුර වසර 40 ක් පමණ පැරැණි බවද නිගමනය කර තිබේ

ලෝකයේ ප්‍රකට සරසවි තුනක පර්යේෂකයන් එකතුවී  මේ කුඩා මමියේ අබිරහස මේ වනවිට බොහෝ දුරටකට විසඳී ඇත. ඒ  අනුව ලෝකය පුදුමයෙන් මුසපත් කළ ‘අටා’ පිටසක්වළ ජීවියෙක් නොව, මිහිමත පහළ වූ දරුණුතම හා පෙර නොවූ විරූ ජාන විකෘතිතාවලින් පෙළුණු, චිලී සම්භවයකින් යුත් දැරියකි.