2018 මාර්තු 31 වන සෙනසුරාදා

මලාලා ගමට ඇවිත්!

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

ලෝකයේ ළාබාලතම නොබෙල් සාම ත්‍යාග ලාභිනිය වන මලාලා සුසුෆ් සායි නැවතත් පාකිස්තානය වෙත ගියාය. තලීබාන් මූලධර්මවාදී සටන්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ළාබාල පාසල් දැරියකව සිටියදී ලක්වීමෙන් පසු ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක යෙදුණු මලාලා එංගලන්තය වෙත ගෙන එන්නට කටයුතු කරන ලදී. එවකට 14 හැවිරිදි දැරියකව සිටි ඇයගේ ජීවිතය බේරාගත්තේ බර්මින් හැම් හී ක්වීන් එලිසබෙත් රෝහලේ වෛද්‍යවරුන්ය.

තලීබාන්වරු සිය ගම්මානය වන ස්වෝට් ප්‍රාන්තයේ මින්නෝරාව අල්ලාගත් පසු අහිමිව ගිය කාන්තා අධ්‍යාපන අයිතිය ඉල්ලා හඬ අවදි කළේ පාසල් යන 13 හැවිරිදි දැරියක වූ මලාලාය. ඇය ත්‍රස්තවාදීන්ගේ ගැහැට සහ මූලධර්මවාදී අසාධාරණ පීඩාවන් ගැන BBC ඇතුළු බටහිර මාධ්‍ය වෙත දිනපතා තොරතුරු ඉදිරිපත් කළාය. මේ හේතුවෙන් මරණ තර්ජනවලට ලක්වූ ඇයට 2012 දී පාසල් ගොස් එන අතරතුර ත්‍රස්ත වෙඩි ප්‍රහාරයකට ලක්වන්නට සිදුවිය.

එංගලන්තය වෙත පැමිණි පසුවද මලාලා ලෝකයේ අධ්‍යාපන අයිතිය අහිමි දරුවන් වෙනුවෙන් හඬක් නැගුවාය. තම සිහිනයක් වූ උසස් අධ්‍යාපන වරම එංගලන්තයේදී සැබෑ කරගත් ඇය ඔක්ස්ෆර්ඩ් සරසවියටද ඇතුළු වූවාය. 

ඇෆ්ගන් ජාතික කිවිඳියක් සහ වීරවරියක් වන මයිවන්ඩි මලාලායිගේ නමට අනුව සිය නම ලබාගත් මලාලා ඇය මෙන්ම මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව කටයුතු කරනා වීරවරියක් වීම නිසා එක්සත් ජාතීන් ඇගේ උපන් දිනය “මලාලා දිනය” ලෙස අන්තර්ජාතික සැමරුම් දිනයක් බවට පත් කෙරුණි. 2016 දී ඇයට නොබෙල් ත්‍යාගය පිරිනැමුණු අතර මලාලා කියා තිබුණේ තමන්ගේ රටේ දේශපාලනයට අවතීර්ණ වීමට ක්‍රියා කරන බවයි. මලාලා සිය මව් රටේ ගම්පියසේ පොළොවේ පයගහන්නට ඉතා ආසාවෙන් බලා ඉන්නා බව ප්‍රසිද්ධියේ කිහිප වතාවක්ම කියා තිබුණි. සිය රටේ ජනයාට සිදුවන අසාධාරණයට එරෙහිවන්නට දේශපාලන බලය අතට ගන්නටත්, අවශ්‍ය නම් රටේ අගමැතිනිය වන්නටත් තමන් සූදානම් බව ඇය කියා තිබුණි.

පසුගිය බ්‍රහස්පතින්දා මලාලා බෙනාසීර් භූතෝ ගුවන් තොටින් සිය රටට ගොඩබැස්සේ පිටුවහලේ වසර හයක් ගතකිරීමෙන් පසුවය. ඇගේ ආගමනය හේතුවෙන් ඉස්ලාමාබාදය පුරා ආරක්ෂාව තරකර තිබේ. මලාලා රටේ ජනාධිපති සදික් ඛාන් අබ්බාසි හමුවීමට නියමිතය. අගමැති සිහිනය සැබෑකරගන්නට ඈ තැබූ මුල් පියවරද මේ? ඒ ගැන කියන්නට තාමත් කල් වැඩිය.

 

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30