2017 ජනවාරි 14 වන සෙනසුරාදා

කඳුළින් සමුගැනීම

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 182

ජනාධිපති බරක් ඔබාමා සිය සමුගැනීමේ කතාව අඟහරුවාදා පැවැත්වූයේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්නා මෙන් අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටිමිනි.

සිය සමුගැනීමේ කතාව පැවැත්වීම සඳහා ජනාධිපති ඔබාමා විසින් තෝරා ගනු ලැබුවේ දේශපාලන දිවිය ආරම්භ කළ චිකාගෝ නුවරය. ධවල මන්දිරයෙන් පිටතදී ජනාධිපතිවරයෙක් මෙවන් කතාවක් කළේ පළමුවරටය.

දහස් ගණනක් ආධාරකරැවන් අමතමින් ඔහු කියා සිටියේ මීට අට වසරකට පෙර තිබූ තත්ත්වයට වඩා තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වඩා යහපත් සහ වඩා ශක්තිමත් අමෙරිකාවක් මේ වනවිට පවතින බවය.
පනස් පස් හැවිරිදි බරක් ඔබාමා අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පළමුවරට තෝරා පත්කරගනු ලැබුවේ 2008 වසරේදීය.

තවත් වසර හතරක් සඳහා ජනාධිපති ධූරයේ රුඳී සිටින ලෙසට රුස්ව සිටි ආධාරකරැවන් හඬ නඟමින් ඉල්ලා සිටින විට ජනාධිපති ඔබාමා සිනහ මුසු මුහුණින් යුතුව කියා සිටියේ තමන්ට එය කළ නොහැකි බවය.

අමෙරිකානු ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයෙකුට ජනාධිපති ධූරය දැරිය හැක්කේ දෙවතාවක් පමණි.
මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 වැනිදා වැඩ භාර ගැනීමට නියමිතය.
ට්‍රම්ප් ගැන කෙලින් සඳහන් නොකළද ඔබාමා වර්ණ භේදවාදය නැවත අමෙරිකාව තුළ  හිස එසවීමට උඩගෙඩි දීම ගැන විවේචනය කිරීමටද අමතක නොකළේය.