2018 මාර්තු 24 වන සෙනසුරාදා

පුටින් රජවෙයි!

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 238

පසුගියදා පැවති  ජනාධිපතිවරණයේදීත් මීළඟ වසර 6 සඳහා රුසියාවේ ජනපති ධූරයට හිටපු ජනපති ව්ලැඩ්මීර් පුටින් තේරී පත්විය. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් 7 දෙනා පරදවා සමස්ත ජන්ද සංඛ්‍යාවෙන් 76%ක ප්‍රතිශතයක් ලබා ගැනීමට ඔහුට හැකිවිය.  සිය ජයග්‍රාහී අවසන් ප්‍රතිඵලය නිකුත් වෙන්නට පෙරම ජනතාව අමතමින් පුටින් ප්‍රකාශ කළේ රටේ ජනතාව පසුගිය පාලන සමයේ තමන් ඉටුකළ කාර්යභාරය හොඳින් අවබෝධ කරගෙන ඇති බවයි. ඔහුගේ මෙවර ජයග්‍රහණය පසුගිය ජයග්‍රහණයන්ටද වඩා ඉදිරියෙන් පවතින අතර ඔහුගේ ප්‍රචාරණ කණ්ඩායම පවා පවසා තිබෙන්නේ මෙම ජයග්‍රහණය විස්මයජනක ජයග්‍රහණයක් බවය.

මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටි කලක පටන් පුටින්ව අභියෝගයට ලක් කළ ඔහුගේ ප්‍රතිවාදියා වූ ඇලෙක්සී නවාල්නිට මූල්‍ය වංචා චෝදනා මත මැතිවරණයෙන් ඉවත් වන්නට සිදු විය. රුසියානු ජනපතිවරණයේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ නවාල්නි හට එසේ තරගයෙන් ඉවත් වන්නට සිදුවීම, පුටින්ගේ ජයග්‍රහණය තහවුරු කළ ප්‍රබලතම සාධකය වශයෙන් සැලකේ. මෙම ජයග්‍රහණයත් සමඟ 65 හැවිරිදි ව්ලැඩිමියර් පුටින් අගමැති ධූරය හෝ ජනපති ධූරය හොබවමින් වසර 20ක කාලයක් රුසියාව පාලනය කළ තැනැත්තා බවට පත්ව තිබේ.

නැවත වරක් රුසියාවේ ජනතවගේ වැඩි ඡන්දයෙන් තේරීපත් වීමෙන් රට කෙරෙහි ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අභිමානය පෙන්නුම් කරන බවයි විදෙස් නායකයන් පෙන්වා දෙන්නේ. ඒ අභිමානය රැකගනිමින් ඉදිරියටත් රුසියානු ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට පුටින් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි සුබපැතුම් මගින් විදේශ නායකයින් පවසා ඇත්තේ. කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ ඇතැම් බටහිර රටවල නායකයන් ජනාධිපති පුටින් නැවත වරක්, තවත් 6 වසරක් සඳහා ජනපති ධුරයට පත්වීම පිළිබඳව මුතිවත රකින බවයි. චීන ජනාධිපති ෂී ජින්පින්, ජනාධිපති පුටින් වෙත සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් සඳහන් කළේ චීනය හා රුසියාව දැන් ඉතිහාසයේ ශක්තිමත්ම සබඳතාවකින් බැඳී සිටින බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ද පුටීන්ට සුබපැතූ අතර ඉක්මනින් හමුවී කතාබහකට සූදානම් බව කියා තිබුණි.

ජනාධිපති පුටින් ප්‍රකාශිත ඡන්දවලින් 76.68% ක් ලබාගනිද්දී ධන කුවේරයකු වන කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා 11.78%ක් ඡන්ද ලබා ඇත. ජනාධිපති පදවිය සඳහා නැවත වතාවක් තරග වැදුණ “රුසියානු ජාතිකවාදී” දේශපාලනඥයකු වන ව්ලදිමීර් ෂිරිනොව්ස්කි මෙවර ලබා ඇත්තේ දෙන ලද ඡන්දවලින් 5.65%ක් පමණි

විපක්ෂ නායක අලෙක්සි නවාල්නි ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම ඡන්දය වර්ජනය කරන ලෙස සිය ආධාරකරැවන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි. තමාට එරෙහි චෝදනා දේශපාලන යටි අරමුණු අනුව ක්‍රෙම්ලිනය විසින් ගොතන ලද ඒවා බවට විපක්ෂ නායකයා චෝදනා කරයි.

චීනය, කසකස්තාන්, බෙලරුසියා, වෙනිසියුලා, බොලීවියා සහ කියුබාව වැනි රටවල රාජ්‍ය නායකයන් ජනාධිපති පුටින්ට සුභ පැතුම් පිරිනමද්දී ඒ සම්බන්ධයෙන් බොහෝ බටහිර රටවල දක්නට ලැබෙන්නේ නිහඬව සිටීමේ පිළිවෙතකි. පුටින් වෙනුවෙන් සුබ පැතුම් යවන ජනාධිපති ෂි ජින්පින් චීන - රුසියා ද්විපාර්ශ්වීය සබඳතා දෙරට ඉතිහාසයේ ඉහළම මට්ටමට දැන් ළඟා වී ඇතැයි පවසයි.

මොස්කව් නගරයේ දී සිය ඡන්දදායකයන් අමතා කතා කළ ජනාධිපති පුටින් “පසුගිය වසර කීපය ඇතුළත ලද ජයග්‍රහණ මහජනයා විසින් අනුමත කරනු ලැබ ඇතැයි” සඳහන් කළේය. එහෙත් එම ඡන්දය දිනා ගෙන ඇත්තේ මැතිවරණ දූෂණ මගින් බවට චෝදනා එල්ල වෙමින් පවතී. ඇතැම් පළාත්වල ඡන්ද මධ්‍යස්ථාන අවට නොමිලේ ආහාරපාන බෙදාදීම සහ වෙළෙඳසැල් සහන මිලට භාණ්ඩ අලෙවි කළ බවට චෝදනා ඉදිරිපත් වෙමින් ඇත.

මේ අතර නගර සහ උපනගර රාශියක ඡන්ද දූෂණ සිදු කෙරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට ප්‍රචාරයට පත් කෙරෙමින් ඇති අතර නිලධාරීන් විසින් ඡන්ද පත්‍රිකා මගින් ඡන්ද පෙට්ටි පුරවන ආකාරය ඇතැම් වීඩියෝ පටවල දැක්වෙයි.

මාර්තු 18 මෙවර ජනාධිපතිවරණය පැවැත්වුණේ, යුක්‍රේනය සතුව පැවති ක්‍රිමියාව රුසියාව විසින් අත්පත් කර ගනු ලැබීමේ පළමු සංවත්සරය උදාවීමත් සමඟය.

මේ වනවිට හැටපස් වැනි වියේ පසුවෙන ව්ලදිමීර් ව්ලදිමීරොවිච් පුටින් සෝවියට් පාලන සමයේ KGB ඔත්තු අංශයේ නිරත නිලධාරියකු විය. සෝවියට් රාජ්‍ය ඔත්තු අංශයේ ලුතිනන් කර්නල්වරයකු වූ පුටින් 1975 පටන් 1991 දී සෝවියට් සංගමය බිඳ වැටෙන අවධිය තෙක් එම රැකියාව දරා ඇත. සිය වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් පීටර්ස්බර්ග් (සෝවියට් පාලන සමයේ ලෙනින්ග්‍රාද්) නගරයේ කටයුතු කළ පුතින් KGB ඔත්තු අංශයේ නිලයෙන් ඉවත්වීමෙන් අනතුරුව එහි නාගරික පාලන මණ්ඩලයේ ඉහළ පදවි රැසක් දරා ඇති අතර ඔහු නියෝජ්‍ය අගමැතිවරයකු හැටියට පළමුවරට පත්කරන ලද්දේ හිටපු ජනාධිපති බොරිස් යෙල්ට්සින් විසිනි.

1999 අගෝස්තු මාසයේ රුසියාවේ ව්‍යවස්ථාදයක මණ්ඩලය පුටින් අගමැති පදවියේ පිහිටුවන ලද අතර 1999 වර්ෂය අවසාන භාගයේ ජනාධිපති යෙල්ට්සින් අනපේක්ෂිත මොහොතක පදවියෙන් ඉවත්වීමත් සමඟ පුටින් වැඩබලන ජනාධිපති පදවියට පත් කරනු ලැබුණි. ඒ අනුව 1999 පටන් එක්කෝ ජනාධිපතිවරයා හැටියට නැත්නම් අගමැතිවරයා හැටියට පසුගිය දශක දෙකකට ආසන්න සමස්ත කාලය තුළ රුසියාව පාලනය වී ඇත්තේ ව්ලදිමීර් පුටින්ගේ හස්තය යටතේය.

සිව්වෙනි වරටත් බලය දිනාගත් පුටින් අගමැති පදවියද ඇතුළුව තම නව ආණ්ඩුවේ වෙනසක් සිදුකරන බව  ප්‍රකාශ කර ඇත.විචාරකයන්  පෙන්නා දෙන්නෙ  පුටින් මීළඟට සදාකාලිකව බලය රඳවාගන්නට පියවර ගනු ඇති බවය. මෙය නව සාර් යුගයක  ඇරඹුමක් ලෙසද මත පළව තිබේ.