2018 මාර්තු 17 වන සෙනසුරාදා

යුගයේ විද්වතා හෝකින්ගේ අැඟ කිලිපොලන අනාවැකි!

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 847

භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ගේ සමුගැනීම ලෝකයේ සෑම මාධ්‍යයකම ප්‍රමුඛ පුවතක් විය. සියවසේ මහා විද්‍යාඥයා ලෙස හැඳින්විය හැකි හෝකින්ස් පෙරළිකාර චින්තකයකු ලෙස ප්‍රසිද්ධය. ඔහු දෙවැනි වූවා නම් ඒ ඇල්බට් අයින්ස්ටයින්ට පමණි. ජීවිතයේ සුන්දරතම කාලයේදී වයස 21 හටගත් ස්නායු විනාශවීමේ දුර්ලභ රෝගයක් හේතුවෙන් රෝද පුටුවකට සින්න වූ හෝකින් අතපය සියල්ල වාරු නැතිව සිටියදීත් මරැවා තුට්ටුවකට ගණන් නොගෙන ලෝකය හෙල්ලුම් කවන අන්දමේ පෙරැළිකාර විද්‍යාත්මක මතවාද ඉදිරිපත් කළේය. විශ්වය පිළිබඳ මේ සියවසේ අපූර්වතම අදහස් පහළ වූයේ ඔහුගෙනි. අයින්ස්ටයින් ඔක්ස්ෆර්ඩ් සරසවියේ හෙබවූ මහාචාර්ය ධුරය ඉන්පසු හෙබවූයේ හෝකින්ස්ය. පසුගියදා ඔහු මියගියේ අයින්ස්ටයින් උපන් දිනයේදී වීම මෙහි ඇති අපූර්ව සබැඳියාවයි.

රෝද පුටුවකට සින්න වුවත්, සිය ආත්ම ධෛර්යය අත් නොහැරි හෝකින් අමුතු ඇහැකින් ලෝකය දෙස බලන්නට ගත් තැත නිසාම ඔහු අපේ කාලයේ අධිෂ්ඨානශීලීත්වය පිළිබඳවද කැපී පෙනෙන චරිතය බවට පත්ව තිබේ. වෛද්‍යවරුන් වයස 21 දී රෝගය සොයාගත් විට කීවේ ඔහු වයස 25 නොපන්නන බවය. හෝකින්  ඒ මතය බිඳ දැම්මේය. වයස 76ක් වූ ඔහුගේ ජීවිත කාලයේ අඩකටත් වැඩි කාලයක් නිසැක මරුවා හා ඔහු සටන් වැදුණේ විස්මිත ලෙසටය. එහෙත් මහාචාර්ය හෝකින්  අසනීපකාරයකු ලෙස ලෝකය කිසිදාක දුටුවේ නැත. ඔහුගේ අතපය වාරු නැති බව, යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් ජීවිතය රැකගන්නා අයුරු, පරිගණක හඬක ආධාරයෙන් අමුතු පෙරළිකාර විද්‍යාත්මක මතවාද අදහස් ඉදිරිපත් කරන ආකාරය මේ සියවසේ පමණක් නොව ලෝක ඉතිහාසයේම සුවිශේෂ මතකයන් බවට පත්ව තිබේ.

විශ්ව භෞතික විද්‍යාව, ක්වොන්ටම් භෞතිකය, විශ්වයේ බලවත්ම ශක්තිය පිරීගත් කළුකුහර පිළිබඳ නව සිද්ධාන්ත වැනි බරසාර දාර්ශනික අදහස් ඉදිරිපත් කරන සියවසේ දාර්ශනිකයා බවට පත්වන අතරේම නිතර නිතර මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන ජනකාන්ත චරිතයක් බවට ඔහු පත්ව සිටියේය. ලෝකය කළඹන සුළු ප්‍රකාශ සමඟ මාධ්‍ය ඉදිරියට ආ හෝකින්, ඔහුගේ සරුසාර අලෙවියක් සහිත පොත පත නිසාද ප්‍රසිද්ධියට පත්විය. ඔහුගේ A Briet History of Time ග්‍රන්ථය පමණක් මිලියන 10ක් පිටපත් ලොව පුරා අලෙවි වී තිබේ. එය භාෂා 35කට පරිවර්තනය වූවකි. සරල බසින් අසීරු විද්‍යාත්මක කරුණු රසවත්ව කීමට හෝකින් උපන් සමතෙකි.

මහාචාර්ය හෝකින් විශ්වය දුටුවේ අමුතු ආකාරයටය. මේ නිසාම ඔහු අනාගතයේ මිනිසා විශ්ව තලයේදී මුහුණ දෙන අලකලංචි පිළිබඳ අරැම පුදුම අනාවැකි ප්‍රකාශ කරන්නට යෙදුණි. ඒ අනාවැකිද විද්‍යාත්මක ලොව කළඹන සුළු ඒවාය. පවතින ජනප්‍රිය පිළිගැනීම්වලින් පිට පනින ඒවාය.

2017 නොවැම්බරයේ පෘතුගාලයේ ලිස්බන් නුවර පැවති භෞතික සමුළුවකදී ඔහු මහා අනතුරු ඇඟවීමක් කළේය. පරිගණකයේ දියුණුව ඔස්සේ ඉදිරියට එන කෘත්‍රිම බුද්ධිය මිනිසාට මහා ඛේදවාචකයක් අත්කර දෙනු ඇති බවටය. කෘත්‍රිම බුද්ධියේ ඉගෙනීමේ හා මතක ගබඩා හැකියාව අනන්තය දක්වා දිවෙන්නක් නිසා මිනිසා මුළුමනින්ම එහි පාලනයට නතු වූ වහලෙක් බවට පත්වනු ඇතැයි හෝකින් ප්‍රකාශ කළේය. නැත්නම් මිනිසා අවලංගු කාසියක් බවට එමගින් පත්කර දමනු ඇතැයිද එසේත් නැත්නම් මුළුමහත් මිනිස් වර්ගයා විනාශ කර දමන්නට කටයුතු කරනු ඇතැයිද ඔහු අනතුරු අඟවා තිබේ. මිනිස් මොළයේ හැකියාවන් අභිබවා යාමට කෘත්‍රිම බුද්ධිය සමත් බව මේ වනවිටත් සනාථ වී තිබේ.

කෘත්‍රිම බුද්ධිය දෙස ලෝකයේ බහුතර විද්වතුන් දක්වන අන්දමේ සර්ව සුබවාදී දැක්මක් ඔහුට තිබුණේ නැත. එහෙයින්ම මෑත කාලයේ සුපිරි තාක්ෂණික නිෂ්පාදකයා වන එලොන් මස්ක් සමග එක්ව මහාචාර්ය හෝකින් කෘත්‍රිම බුද්ධිය පාලනයක් ඇතිව භාවිතයට ගැනීම සඳහා ආචාර් ධර්ම 23ක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.

පියාඹන පීරිසි සහ පිටසක්වල ජීවීන් ගැන උන්මාදනීය කතාවලින් උත්කර්ෂයට පත්ව සිටින සෙසු ලෝකයා දෙස මහාචාර්ය හෝකින් බලන්නේ අනුකම්පාව සහිතවය. ඔහු ප්‍රසිද්ධියේ කිහිපවරක්ම කියා ඇත්තේ පිටසක්වලයන් හදිසියේ මුහුණට මුණගැසුණොත් කරන්නට හැකි හොඳම දෙය පණ එපා කියා දිවීම බවය. පිටසක්වල ජීවීන් හමුව කිසිදා මිනිසාට යහපතක් නම් උදා නොකරන බවට හෝකින් අනතුරු අඟවා තිබේ. එය හරියටම ක්‍රිස්ටෝපර් කොලොම්බස් අමෙරිකාවට ගොඩබැසීම බඳු මහා කලබැගෑනියකට හේතුවනු ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දී තිබේ. ඔහු කියන්නේ වෙනත් ලෝක සොයා යන පිටසක්වලයින් යහපත් අය නොවිය හැකි ආක්‍රමණිකයන් බවය.

වැඩි දෙයක් නොවේ, අපිට අපි දිහාම බලලා හිතාගන්න පුළුවනි. තාක්ෂණයෙන් දියුණුවෙච්ච ඒ නිසා ඔළුව උදුම්මාගත්ත පිරිසක් දුර්වල තාක්ෂණයක් බුද්ධියක් සහිත පිරිසක් සමඟ කොහොම කටයුතු කරයිද කියන එක ගැන. 2010 දී ඔහු ලන්ඩන් ටයිම්ස් වෙත කියා ඇත්තේ අප සොයා එන පිටසක්වලයන් සමාන කළ හැක්කේ නොමැඩ්ස්වරුන්ට බවය. වෙනත් ලෝක ජයගෙන ඒ තුළ ජනාවාස තනන්නට එන බලලෝභී සම්පත් කොල්ලකරුවන් පිරිසක් ලෙසටය.

ඒ අතර 2016 අප්‍රේල්වල පැවැති විශ්වතරණය පිළිබඳ සමුළුවකදී ඔහු කීවේ අඩු තරමේ ඉදිරි වසර 20ක කාලයක් තුළදී අපට පිටසක්වලයන් හමු නොවනු ඇති බවයි. ඔවුන් මුණගැසීමට ඇති අවස්ථාවත් ඉතාමත් අවමයි. නමුත් කෙප්ලර් අභ්‍යවකාශ පිරික්සුම මගින් දැනටමත් ජීවය පැවතිය හැකි මට්ටමේ පරිසරයක් සහිත ලෝක බිලියන ගණනක් අපේ මන්දාකිණිය තුළින් පමණක් සොයාගෙන තියෙනවා. අපිට පෙනෙන විශ්වය තුළ අපේ වගේ මන්දාකිණි බිලියන 100ක් විතර තියෙනවා. ඉතින් හිතන්නකෝ ඒවායේ තවත් ජීවීන් ඉන්න පුළුවනි නේද?

මහාචාර්ය හෝකින්  පළකළ තවත් අනාවැකියක් වන්නේ තවත් වසර දහසක් හෝ දස දහසක් අතර කාලයේදී මිනිසා විශ්ව ගම්මාන සාදනු ඇති බවයි.

මහ පොළොව, ඇස්ටරොයිඩ ප්‍රහාර සහ සුපර්නෝවා ගිනි ඇවිලීම් වගේ, අභ්‍යවකාශ අලකලංචි රැසකට මුහුණ පෑමේ අනතුරක් තියෙනවා. මේ නිසාම මනුෂ්‍ය වර්ගයා ජීව විශේෂයක් හැටියට සිය පැවැත්ම බේරාගන්නට නම් තහවුරු කරගන්නට නම් ඈත තරැ වෙතට යා යුතුමයි. 2016 අප්‍රේල් පැවති විශ්ව තරණය සඳහා පිඹුරුපත් සැකසූ Starshot සමුළුවේදී එසේ කී මහාචාර්ය හෝකින්ස්, 2017 ජූනි වනවිට සිය මතය වෙනස්කර තිබුණේ ඉදිරි වසර 200ත් 500ත් අතර කාලයේදී මනුෂ්‍ය සංහතිය විශ්වය කරා“මහා නික්මයාමක්” සඳහා සූදානම් විය යුතු බවටය. මක්නිසාද යත්, මිනිසා විසින්ම මහ පොළොවට සිදුකරනා විනකැටීම තවදුරටත් එය වාසයට නුසුදුසු තැනක් බවට පත් කරනා හෙයිනි.

අනෙකුත් සූර්ය ග්‍රහ මණ්ඩල පරීක්ෂාකර බලන්නට දැන් කාලය ඇවිත්. විශ්වය පුරා විසිර යාම තමා අපිට අපෙන්ම වෙන හානියෙන් බේරෙන්න තියෙන හොඳම උප්පරවැට්ටිය. නෝර්වේ රටේ ටොන්ඩිහයිම්වලදී හෝකින්ස් අනතුරු අඟවා තිබුණි. මහාචාර්ය හෝකින්හට තිබුණේ නව පන්නයේ ජීවිත දර්ශනයකි. ඔහු රෝගයට බියවූයේ නැත. මේ ජීවිතය පමණක්ය. මරණින් මතු ජීවිතයක් නැත යන විශ්වාසයේ සිටි තැනැත්තෙකි.

පසුගිය අවුරුදු 49ක පමණ කාලයක් මම ජීවත් වෙන්නේ දින නැති මරණ සහතිකයක් අතේ තියාන. මං මරණයට බය නෑ. නමුත් එය ඉක්මන් වෙනවාට කැමැති නෑ. ඊට කලින් මට කරන්න ගොඩක් දේවල් තියෙනවා.

හෝකින් මහාචාර්යවරයා මනුෂ්‍ය මොළය දුටුවේ පරිගණකයක් ලෙසටය. පරිගණකයක උපාංග දිරලා විනාශ වුණාම  ඒකේ ආයු කාලය ඉවරයි. එහෙම විනාශ වෙච්ච පරිගණකවලට යන්න දිව්‍යලෝකයක් නැහැනේ. ඒවා අලුතෙන් උපදින්නෙත් නෑ. අපිත් ඉතින් ඒ වගේ තමා. ඒ ඔහුගේ දර්ශනයයි. දෙවියන්ය කියා පුද්ගලයෙක් හෝ ආත්මයක් නැති බව හෝකින් නිතර කියා තිබේ.

දෙවියෝ කියා කෙනෙක් නෑ. කවුරුවත් විශ්වය මැව්වෙත් නෑ. අපේ ජීවිත මෙහෙයවන කෙනෙක් ඇත්තෙත් නෑ. ඒ නිසා දිව්‍ය ලෝකත් නෑ. නැවත උපතකුත් නෑ. මේ ජීවිතය තමා අපට උරුම එය මුළුමනින්ම විශ්වයේ වැඩක්. මට මේ ජීවිතය පමණක් ලබාදීම ගැන විශ්වයට ස්තූතිපූර්වක වෙනවා.

විශ්වයේ දැනට ඇති බලවත්ම ශක්තිය අන්තර්ගතව ඇත්තේ කළු කුහර තුළය. මහාචාර්ය ස්ටීවන් හෝකින් විශේෂඥවූයේ කළු කුහර පිළිබඳ අධ්‍යයනයන්ටය. එමගින් අයින්ස්ටයින් නීති සනාථ කරන්නටය. ඔහු කළු කුහරයක් මෙන්ම ශක්තිමත් චරිතයක්, සහිත කෙනෙකු බව නිබඳ මරණය සමග සතුටින් දිවි ගෙවමින් පෙන්වා දුන්නේය.

►සංස්කරණය: 
සුගත් පී. කුලතුංගආරච්චි

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00