2018 මාර්තු 10 වන සෙනසුරාදා

ට්‍රම්ප් - කිම් ලෝක සම්මානයට මුල පුරති

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

• ලෝක යුද්ධයට තිත
• තවදුරටත් න්‍යෂ්ටික පිපිරීම් අනතුරක් නෑ

කිම් ජොං උන් සහ ට්‍රම්ප් අතර හමුවක් ලබන මැයි මාසයෙදී සිදුවීමට නියමිතය. ඒ අනුව ඇමෙරිකානු නායකයෙක් උතුරු කොරියානු නායකයෙක් දශක ගණනාවකට පසු මුණගැසෙන මුල් වතාව මෙය වනු ඇත. දකුණු කොරියා දූත පිරිසක් කිම් ජොං උන් හමුවීමත් සමඟ මේ සුබදායි ආරංචිය ආවේය. දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක උපදේශක චන්ග් සුයියන්ගේ මේ ලෝක සාමයට හිතකර ආරංචිය රුගෙන ආ තැනැත්තාය.

තමන් න්‍යෂ්ටික අවිහරණයකට සූදානම් බවත් ජනාධිපති ට්‍රම්ප් මුණගැසීමට ඉතා ආශාවෙන් සිටිනා බවත් කිම් ජොං උන් ඔහුට කියා ඇත. නමුත් එයට පෙර සිය රටේ ආරක්ෂාව ගැන තහවුරු කිරීමක් අවශ්‍ය බව කිම් පවසා තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් නමුත් ඊට පෙරාතුව උතුරු කොරියාව න්‍යෂ්ටික ආයුධ අත්හළ යුතු බව මේ සම්බන්ධව කරුණු දක්වමින් පැවැසීය. තමන් අතර මේ හමුවීම සිදුවන තෙක් අතරවාරයේ මිසයිල අත්හදා බැලීම  අත්හිටුවිය යුතු බවද ඔහු කියා තිබේ. ඒ අතර පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බවද කියා ඇත.

එහෙත් ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමේ සූදානම පළකර තිබෙන උතුරු කොරියාව පවසන්නේ ඒ සඳහා එක්සත් ජනපදය පූර්ව කොන්දේසි පැනවීම “අඥාන ක්‍රියාවක්” බවය. එක්සත් ජනපදය සාකච්ඡා සඳහා උනන්දුවක් නොදක්වන බවක් එමගින් ගම්‍ය වන්නේ යයි උතුරු කොරියාවේ විදේශ අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

මේ අතර උතුරු කොරියාව පිළිබඳ එක්සත් ජනපදයේ ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයා වූ ජෝසප් යුන් පසුගිය සතියේ විශ්‍රාම ගැනීමට තීරණය කිරීමත් දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධයෙන් බලපෑමක් කිරීමට ඉඩ තිබෙන බවට විශ්ලේෂකයෝ පවසති.

උතුරු හා දකුණු කොරියානු නායකයින් ලබන මාසයේදී පැවැත්වීමට නියමිත දෙරටේ සමුළුවකදී මුණගැසීමට නියමිත බව උතුරු කොරියාවේ දුර්ලභ චාරිකාවක යෙදුනු දකුණු කොරියානු නියෝජිතයෝ පැවසූහ. ඔවුන් සඳහන් කළේ, න්‍යෂ්ටික අවි අත්හැරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සඳහන් කළ බවය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාපොරොත්තු නවතාලීමට මීට පෙර ද වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ නමුත් එරට සිය පොරොන්දු ඉටුකිරීමට අසමත් විය. මෙය දශකයකට වඩා වැඩි කාලයකට පසු දෙරටේ නායකයින් අතර පැවැත්වෙන පළමු හමුව වනු ඇත. දැඩි ආරක්ෂාවක් සහිත දෙරටේ දේශසීමාවේ පිහිටි පන්මුන්ජොම් සටන් විරාම ගම්මානයේදී නායකයින් දෙදෙනා මුණගැසීමට නියමිතය.

උතුරු කොරියානු අගනුවර වන ප්යෝන්ග්යන්ග් සිට එන ගමනේදී දකුණු කොරියානු නිලධාරීන් පැවසුවේ, සිය ආණ්ඩුවේ ආරක්ෂාව තහවුරු කළ හැකි නම් උතුරැ කොරියා න්‍යෂ්ටික අවි අත්හැරීම ගැන සාකච්ඡා කිරීමට දැන් තමා බලාපොරොත්තු වන්නේයැයි කිම් ජොන්ග් උන් පැවසූ බවය. රාජ්‍යතාන්ත්‍රිකබව ක්‍රියාත්මක වන අතරේදී මිසයිල අත්හදා බැලීම් නොකෙරෙනු ඇති බවද ඔහු පවසා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය පවසා තිබුණේ න්‍යෂ්ටික හරණය පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් වීම පමණක් වුව උතුරු කොරියාව සමඟ සංවාදය ඉදිරියට ගෙන යනු ඇති බවය. උතුරු - දකුණු රාජ්‍ය අතර වර්ධනය වෙමින් පවතින සබඳතා ගැන තමන් “අවධානයෙන් යුතු සුබවාදීබවක්” පළකරන නමුත් සිය න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා සූදානම් නොවන තෙක් ප්යෝන්ග්යන්ග් පාලනය සමඟ නිල සාකච්ඡාවකට එළඹීම බැහැර කර තිබිණි. 

2011 වසරේ නායකත්වයට පැමිණි තැන සිට කිම් ජොන්ග් උන් මුණගැසුණු විදෙස් නිලධාරීන් ගණන ඉතා සුළුය. දකුණු කොරියානු ජනාධිපතිව සිටි කිම් ඩේ ජුන්ග් යටතේ එරට නියෝජිත පිරිසක් 2007 වසරේදී අවසන් වරට ඔහුව මුණගැසී තිබිණි. එවැනි තත්ත්වයක් මත දකුණෙන් පැමිණි නියෝජිත පිරිසක් සිනහ මුසුව, අතට අත දෙමින් ඔහු සමඟ රාත්‍රී භෝජනයකට එක්වීම සුවිශේෂය. දෙරටම එකම ධජයක් යටතේ පිය නැගූ ශීත ඔලිම්පික් තරගාවලියත් සමඟ නොසන්සුන් බව අඩුවී යාමේ තත්ත්වයෙන් ඵල නෙලා ගැනීමට ඔවුන් අපේක්ෂා කරන බව පෙනෙන්නට තිබේ.

අනාගතයේ පැවැත්විය හැකි නිල සාකච්ඡාවලින් ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිට ඇති තත්ත්වය බිඳී යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම නිරන්තරයෙන් ඉහළ ගිය තමන්ට එරෙහි සම්බාධක නොතකමින් ඉවතලීමට විරෝධය පෑ න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා උතුරු කොරියාව පෙළඹවීමට ද හැකිවනු ඇති බවට බලාපොරොත්තු පළවී ඇත.