2018 මාර්තු 10 වන සෙනසුරාදා

රුසියාවේ හිටපු ඔත්තුකරුට ස්නායු මරණ විසක්

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 200

එංගලන්තයෙ “සැලිස්බරි” නගරයේ ජීවත් වූ රුසියාවේ හිටපු රහස් ඔත්තුකරුවකු සහ ඔහුගේ දියණිය හිටිඅඩියේම විසක් ශරීරගත වීමෙන් දැඩිලෙස රෝගාතුරව රෝහල් ගත කරනු ලැබ අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති. සර්ජි ස්ක්‍රිපාල් සහ ඔහුගෙ දියණිය යූලීයාගේ විස ශරීර ගතවීමේ සිද්ධියට රුසියානු සම්බන්ධයක් ඇතිදැයි සොයා බැලෙයි. එම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇති අතර, ස්වදේශ ලේකම් ඇම්බර් රෑඩ්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඉහළම හදිසි කමිටුව බදාදා රැස්වීය. සිය පැරණි ඔත්තුකරු සහ ඔහුගේ දියණිය රෝගාතුර වීම සම්බන්ධයෙන් ඇතැම් කණ්ඩායම් තමන් වෙත ඇඟිල්ල දිගු කරනු ලැබීම මොස්කව් පාලනය විසින් බැහැර කරනු ලබයි.

මේ අතර නිවේදනයක් කරන බ්‍රිතාන්‍ය පොලීසිය පසුගිය ඉරිදා සවස සැලිස්බරි නගරයේ ගතකළ ඕනෑම තැනැත්තකු සමඟ කතා කිරීමට අවශ්‍ය බව කියා සිටියි. සැලිස්බරි නගර මධ්‍යයේ පිහිටි “බිෂොප් මිල්” අවන්හලට සහ “ශිෂි” භෝජන ශාලාවට පැමිණි පාරිභෝගිකයන් සමඟ සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය පොලීසිය කැමැත්ත පළ කරයි.

හැටහය හැවිරිදි සෙර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ තිස්තුන් හැවිරිදි දියණිය යුලියා ඉරිදා සන්ධ්‍යාවේ සොයාගනු ලැබුණේ සැලිස්බරි නගරයේ “මැල්ටින්ග්ස්” සාප්පු සංකීර්ණය ඉදිරිපිට බංකුවක් මත සිහිසුන්ව වැටී සිටියදීය. යම්කිසි විසක් ඔවුන්ගේ ශරීරගතව ඇද්ද යන්න පිළිබඳව “පෝර්ටන් ඩවුන්” බ්‍රිතාන්‍ය යුද හමුදා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් විසින් පිරික්සූහ. රෝගාතුරව සිටි සෙර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යුලියා ඉරිදා සවස 1.30 ට විතර සැලිස්බරි නගරයේ දී හමුව තිබේ. එදා දිනයේ යම්කිසි අසාමාන්‍ය දෙයක් දුටු අයෙක් වේ නම් දැනුම්දෙන ලෙස, ත්‍රස්තවාදය මැඬලීම පිළිබඳ බ්‍රිතාන්‍ය පොලිසියේ සහකාර කොමසාරිස්වරයා පවසයි.

පෝර්ටන් ඩවුන් බ්‍රිතාන්‍ය යුද හමුදා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් රහස් ඔත්තුකරු සහ ඔහුගේ දියණියගේ ශරීරගත රසායනය ප්‍රබල, දුලබ ස්නායු විසක් බව ප්‍රකාශ කර සිටිති. ඇස් කසන්නට ගැනීම සහ හුස්ම ගැනීම දුෂ්කරවීම වැනි අපහසු තත්ත්වයන්ට පත් පොලිස් නිලධාරීන් දෙදෙනකුත් විෂ ශරීරගත වීමට ගොදුරුව ඇතැයි සැක කෙරුණ අතර ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබ පිටව ගොස් ඇති බවක් ද වාර්තා වෙයි. මේ අතර හදිසි සේවාවේ සාමාජිකයකුත් රෝහල්ගත කරනු ලැබ ඇත.

කර්නල් ස්ක්‍රිපාල් රුසියාවේ බුද්ධි අංශයේ හිටපු රහස් ඔත්තුකරුවෙකි. රුසියානු බුද්ධි අංශයේ කටයුතු කරමින් සිටියදීම බ්‍රිතාන්‍යයටත් ඔත්තු සැපයීම සම්බන්ධයෙන් 2006 වසරේ ඔහු වරදකරු කරනු ලැබුණි. කර්නල් ස්ක්‍රිපාල්ගේ බිරිඳ, වැඩිමහල් සහෝදරයා සහ පුත්‍රයා පසුගිය කාලයේ මරණයට පත්වූ අතර එම මරණ පිටුපසද රහසක් ඇතැයි පවුලේ සෙසු සාමාජිකයෝ සැක කරති. කර්නල් ස්ක්‍රිපාල්ගේ පුත් හතළිස් තුන් වියැති අලෙක්සන්දර් ස්ක්‍රිපාල් ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී අක්මා රෝගයකින් මරණයට පත්විය. එයද තවම අබිරහසකි.