2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

විද්‍යාත්මකව ඔප්පු වූ සතුට ලබන ක්‍රම 5ක්

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

සතුටෙන් සිටීමට නම් හිතාමතා උත්සාහයක් ගත යුතු බව විද්‍යාවෙන් ඔප්පු කර හමාරය. අමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ මනෝ සහ ප්‍රජානන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලොරී සන්තෝස් එය ඔප්පු කළ තැනැත්තියයි.

මනෝ විද්‍යාව සහ යහපත් ජීවිතය පිළිබඳව උගන්වන ඇයගේ පංතිය, වසර 316ක් යේල් සරසවි ඉතිහාසයේ ජනප්‍රියම පංතිය බවට පත්ව තිබේ.

1200ක් ඉක්මවා ගිය ශිෂ්‍ය සංඛ්‍යාවක් බඳවා ගැනීමත් සමඟ මහාචාර්ය ලොරී සන්තෝස් මෑතකදී යේල් විශ්ව විද්‍යාලයේ මෙතෙක් කවර හෝ විෂයයක් සඳහා බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමුවාය. “සතුටෙන් සිටීම එක්වරම සිදුවන්නක් නොවේ. එහි වර්ධනයක් සඳහා පුහුණු විය යුතුයි.” සන්තෝස් පවසයි.

කෘතඥතාව දැක්වීමට ලැයිස්තුවක් හදන්න

සතියක් පුරා හැම රාත්‍රියකදීම සෑම අයෙක්ම තමන් එදා දවසේ කෘතඥතාව පළකළ යුතු කරුණු ඇතුළත් ලැයිස්තුවක් සකස් කළ යුතුය. එය ඔවුන්ගේ කෘතඥතා ලැයිස්තුවයි.

ඒක බැලූ බැල්මට සරල දෙයක් ලෙස පෙනුනත්, මේ කටයුත්ත නොකඩවා කරන සිසුන් වඩාත් සතුටින් සිටින්නට නැඹුරු වෙනවා, සන්තෝස් පවසයි.

දිගු වේලාවක් හොඳින් නිදා ගන්න

මහාචාර්ය සන්තෝස්ට අනුව, ඉෂ්ඨ කර ගැනීමට අපහසුම ව්‍යායාමය මෙය බව තහවුරු වී තිබේ. සතියක් තුළ සෑම රැයකදීම පැය අටක් නිදා ගැනීම එම අභියෝගයයි.

ඒක තරමක මෝඩ කටයුත්තක් හැටියට පේනවා. නමුත් අපි දන්නවා හොඳ දිගු නින්දක් ලැබීචම තුළ ආතතිය අඩු වීමේ හැකියාවත්, ධනාත්මක සිතුවිළි වර්ධනය වීමේ හැකියාවත් වර්ධනය වෙන බව සන්තෝස් පෙන්වා දෙන්නීය.

භාවනා කරන්න

ඔබ කළ යුත්තේ දිනකට විනාඩි 10ක් භාවනා කිරීමයි. ශිෂ්‍යාවක් ලෙස නිරන්තර භාවනාවෙන් තමා සහනයක් ලද බව සන්තෝස් පවසන්නීය. දැන් ඇය මහාචාර්යවරියකි. භාවනාව සහ අනෙක් ක්‍රියාකාරකම් කෙනෙකුගේ පූර්ණ අවධානය දිනා ගැනීමෙන් සතුටට පත්වන ආකාරය අධ්‍යනය කරන මෙන් ඇය සිසුන්ට පවරයි.

පවුලේ අය සහ යහළුවන් සමඟ වැඩිපුර 

කාලය ගත කරන්න

තමන්ගේ පවුලේ අය සහ යහළුවන් සමඟ හොඳ කාලයක් ගත කරන අය වඩාත් සතුටෙන් පසුවන බව නවතම සමීක්ෂණ ඔස්සේ තහවුරු වන බව සන්තෝස් පෙන්වා දෙයි.

ඉතා හොඳ පුද්ගලානුබද්ධ සහ සමාජ සබඳතා මෙන්ම එකිනෙකා හමුවීම මගින් සැලකිය යුත මට්ටමින් පුද්ගල සුබ සාධනය වර්ධනය කෙරෙයි. “කාලය” නැමැති සංකල්පය සතුට සඳහා ඉතාම වැදගත්. “අපි හැමතිස්සෙම අපේ පොහොසත්කම මනින්නේ අප සතුව ඇති මුදලට අනුව. නමුත්, අපේ පොහොසත්කම අපට කාලය කොපමණ තිබේද යන්න හා තදින් බැඳී පවතිනවා” යැයි ඇය කියයි.

අන්තර්ජාල සබඳතා අඩුකර සැබෑ 

සබඳතා වැඩි කරන්න

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන ව්‍යාජ සතුටෙන් සියල්ල අහිමි කරගත යුතු නැති බව සන්තෝස් විශ්වාස කරන්නීය.

“ඉන්ස්ටර්ග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය වැඩියෙන් භාවිත කරන අයට වඩා එසේ නොකරන අය සතුටෙන් ඉන්න බව නවතම සමීක්ෂණවලින් පෙනිලා තියෙනවා” ඇය සඳහන් කර ඇත. 

සතුටින් සිටින්නට ඔබට සැබවින්ම අවශ්‍ය නම්, කෘතවේදී වෙන්න. යහළුවන් සහ පවුලේ අය සමග කාලය ගත කරන්න. අඩුම තරමින් දවසකට විනාඩි කිහිපයක් භාවනා කර ඔබේ මනස පිරිසිදු කරගන්න. අන්තර්ජාල සබඳතා අක්‍රීය කර වැඩියෙන් නිදා ගන්න. මෙම උපදෙස් සහ ක්‍රියාමාර්ග “යේල්” සරසවි සිසුන්ට නම් සාර්ථක වී තිබේ.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00