2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

තායිවානය දෙදරුම් කයි

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබලතාවක් පෙන්නුම් කළ තායිවානයේ සිදුවූ දරුණු භූමිකම්පාවකින් සහ පසු කම්පන ගණනාවකින් 10 දෙනෙකු පමණ මියගොස් 260කට ධික පිරිසක් තුවාල ලබා ඇත. මෙම භූමිකම්පාව හේතුවෙන් වඩාත් දරුණු විනාශයක් සිදුවී ඇත්තේ හුවාලෙයින් නගරයටය. එහි ගොඩනැගිලි රැසකට සහ මහා මාර්ගවලට දැඩි හානි සිදුවී ඇත. එක් ගොඩනැගිල්ලක සිටි පුද්ගලයන් 140 දෙනෙකු පිළිබඳ මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැත.

ජනප්‍රිය සංචාරක කේන්ද්‍රස්ථානයක් වන හුවාලෙයින් නගරයේ ජනගහනය ලක්ෂයකට ආසන්නය. මේ වනවිට හුවාලෙයින් නගර වැසියන්ට තම හානි වූ නිවෙස්වලින් බැහැරව ආරක්ෂක ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබේ. පසුකම්පන බලපෑම හේතුවෙන් 800කට ආසන්න පිරිසක් ප්‍රජා මධ්‍යස්ථාන තුළ රැඳී සිටිති.

නිවාස සහ කඩ සාප්පු පිහිටි තට්ටු 12ක ගොඩනැගිල්ලක් දැඩි හානි හේතුවෙන් අංශක 45 ආනතියක් සහිතව පසකට ඇලවී ඇති අතර එහි විසූ 143 දෙනෙකු පිළබඳව ද මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නැත. මිලිටරියේ 600ක් සහ ගිනිනිවන භටයන් 750ක් අනතුරට ලක්වූවන් සොයා මෙහෙයුමට බැස තිබේ. 

භූමිකම්පාවෙන් පසු 40,000කට ආසන්න නිවාස ප්‍රමාණයකට ජල සැපයුම නතර වී ඇති අතර අධිවේගී මාර්ග සහ පාලම් තාවකාලිකව වසා දමා ඇත. හුවාලෙයින් නගරයේ සියලුම පාසල් සහ කාර්යාල ලබන බදාදා වනතුරු වසා දමා ඇත.
116කට ආසන්න පිරිසකට මරු කැඳවමින් තායිවානයේ තායිනන් නගරයේ සිදුවූ භූමිකම්පාවෙන් වසර දෙකකට පසු සිදුවුණ දරුණුතම භූමිකම්පාව මෙයයි. තායිලන්ත ආණ්ඩුවට අනුව මෙම මාසය ඇතුළත භූමිකම්පා 100ක් පමණ එරටින් වාර්තා වී ඇත. විශේෂඥයින් අනතුරැ අඟවා ඇත්තේ ප්‍රබලතාව 8කට ආසන්න ප්‍රබල භූ කම්පනයක් සිදුවීමට නියමිත බවය.