2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

කලීදා ෂියා හිරගෙට

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

දූෂණ චෝදනා ලබා සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනි කලීදා ෂියාට අවුරුදු පහක සිර දඬුවමක් නියම වී ඇත. මේ තීන්දුව ප්‍රකාශවීමත් සමඟ පොලීසිය සහ දහස් ගණන් විපක්ෂ ආධාරකරැවන් අතර ගැටුම් හටගත්තේය.

හිටපු අගමැතිනිය වරදකරු කරනු ලැබ සිටින්නේ දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන පුණ්‍යායතනයකට ලැබුණ ඩොලර් 252,000කට ආසන්න ජාත්‍යන්තර ආධාර අවභාවිත කිරීම සම්බන්ධයෙනි. තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී ඩකා නුවර පිහිටි අධිකරණය ඉදිරිපිට රැස්වූ කලීදා ෂියාගේ ආධාරකරුවන් දහස් ගණනක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසියට සිදුව තිබුණි.

මෙම දඬුවම හේතුවෙන් ඇයට මෙම වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට හෝ සහාය දීමට නොහැකි වන අතර, එය දේශපාලන බලපෑම් මත ලබාදුන් අධිකරණ තීන්දුවක් බව ඇය කියයි.

වර්තමාන අගමැති ෂෙයික් හසිනාගේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වන කලීදා ෂියාට එරෙහිව තවත් නඩු කිහිපයක්ම පවරනු ලැබ ඇත. ලන්ඩනයේ සිටින ෂියාගේ පුත් තාරික් රහමන් ඇතුළු ඇයගේ ආධාරකරුවන් හතර දෙනෙකුට එක් අයෙකුට වසර දහය බැගින් වූ සිරදඬුවම් නියම වී තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත්කළ දින ඇතිවුණ නොසන්සුන්තා හේතුවෙන් ඩකා නුවර සහ ඒ අවට ආරක්ෂාව තර කරන ලද අතර පාසල් සහ කඩසාප්පු විශාල ප්‍රමාණයක් වසා දමන්නට යෙදුණි.