2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

අභ්‍යවකාශයට ගිය සුපිරි රථය

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

අමෙරිකානු ව්‍යාපාරික ඊලොන් මස්ක් තමන්ගේ නවතම රොකට් යානය, ෆැල්කන් හෙවි සාර්ථකව අභ්‍යවකාශ ගත කළේය. ෆැල්කන් හෙවි රොකට් යානය අභ්‍යවකාශ ගත කළේ අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. 

මෙතෙක් නිර්මාණ කරන ලද ප්‍රබලතම රොකට් යානය වන ෆැල්කන් හෙවි කිසිදු උපද්‍රවයකින් තොරව වේදිකාව මතින් නික්මව අත්ලාන්තික් සාගරයට ඉහළින් පිහිටි ගුවන් තලය වෙත ළඟා විය.

ටොන් හැට අටක් (පහළ පෘථිවි කක්ෂයේදී) බර රැගෙන යා හැකි පරිදි ෆැල්කන් හෙවි රොකට් යානය නිර්මාණය කර ඇත. එම බර ලන්ඩනයේ දැකිය හැකි තට්ටු දෙකේ බස් රථ පහක බරට සමානය.

ෆැල්කන් හෙවි යානය තුළ ඊලොන් මස්ක්ට අයත් ටෙස්ලා ස්පෝර්ට්ස් වර්ගයේ මොටර් රථයක් ද ගෙන යනු ලැබිණි. අභ්‍යවකාශගාමීන් භාවිතා කරනු ලබන ඇඳුමක් ඇඟලූ මිනිස් ආකෘතියක් එහි රියදුරු අසුනේ හිඳුවා තිබූ අතර එහි ඇති රේඩියෝ යන්ත්‍රය හරහා ඩේවිඩ් බෝවිගේ ගීතයක් වාදනය වීමට සලස්වා තිබේ. ටෙස්ලා මෝටර් රථය සහ මිනිස් රුව හිරු වටා ඉලිප්සාකාර කක්ෂයකට මුදා හැර ඇති අතර එම කක්ෂය අඟහරු ආසන්නය දක්වා දිව යයි.

සාමාන්‍යයෙන් සෑම අජටාකාශ මෙහෙයුමක් අවසානයේදීම අභ්‍යවකාශ යානා මුහුදට වැටීමට සලස්වනු ලබන අතර එසේ නොකොට එම යානා නැවත ප්‍රයෝජනයට ගැනීම “ස්පේස් එක්ස්” සමාගමේ අරමුණය. ඒ අනුව ෆැල්කන් හෙවි අභ්‍යවකාශය වෙත රැගෙන යාමට යොදාගත් ෆැල්කන් 9 වර්ගයේ බූස්ටර් 3 නැවත පෘථිවිය වෙත ගොඩබැස්සවීමට එම සමාගමට හැකිවිය.

ඒ අනුව ෆැල්කන් 9 බූස්ටර් දෙකක් ෆ්ලොරිඩා වෙරළ තීරයේ වූ ගොඩබැස්සවීමේ කලාප වෙත ළඟා වූ අතර ඒවායේ ගොඩබෑමේ පාද එකම වේලාවකදී පෘථිවි තලය ස්පර්ශ කරනු ලැබිණි. 2024 දී අඟහරු වෙත මිනිසුන් යැවීම ඊලොන් මස්ක්ගේ ඉලක්කය වී තිබේ.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00