2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

මාලදිවයිනේ මහා පෙරැළියක්

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 383

හිටපු ජනාධිපති නෂීඩ් නිර්දෝෂී බව ප්‍රකාශ වෙයි
සුපිරි අධිකරණයෙන් දේශපාලන සිරකරුවන්ට නිදහස

 

 

මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය බ්‍රහස්පතින්දා එරට දේශපාලනය උඩු යටිකුරු කරන සුපිරි තීන්දුවක් ලබා දුන්නේය. දැනට බ්‍රිතාන්‍යයේ පිටුවහල් ජීවිතයක් ගතකරන හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට එරෙහිව එල්ල වී තිබූ ත්‍රස්තවාදී චෝදනාව ඉවත විසිකර දැමීමෙනි. මේ සමඟ සිරගත කර සිටි දේශපාලනඥයන් නව දෙනකුද නිදහස් කරන්නට නියම කැරිණි. ඔවුන්ට විරුද්ධව පවත්වා ඇත්තේ අසාධාරණ නඩු විභාග බව කියමිනි. ඒ අතර සිය ඇමැති තනතුරු අහිමි කළ 12 දෙනකුද එම තනතුරුවල නැවත පිහිටුවීමට කටයුතු කරන ලදී. ඔවුන්ගේ තනතුරු අහිමි කරන ලද්දේ විපක්ෂයට වාසිදායී ලෙස කටයුතු කිරීම හේතුවෙනි. එමගින් රජයට එරෙහි දෝෂාභියෝගයක් ගෙනඒමට අවශ්‍ය වැඩි බලය විපක්ෂයට හිමිවන නිසාය.

මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ විප්ලවකාරී තීන්දුවට එළැඹුණේ විපක්ෂ සන්ධානය මගින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බලමිනි. පෙත්සමින් ඉල්ලා තිබුණේ වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් තාවකාලිකව තනතුරින් ඉවත් කරන ලෙසටය. වැරැදි පාලනය, හිමිකම් උල්ලංඝණය සහ ඇදැහිය නොහැකි දූෂණ වංචා ඔහුට එරෙහි චෝදනා ලෙස විපක්ෂ සන්ධානය පෙත්සමට ගොනුකර තිබුණි.

පනස් අට හැවිරිදි යමීන් බලයට පත්වූයේ 2013 ආන්දෝලනාත්මක ඡන්දයකිනි. 2015 දී මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්වූ ප්‍රථම ජනාධිපතිවරයා වන නෂීඩ්ට එරෙහිව ත්‍රස්තවාදී කුමන්ත්‍රණ චෝදනා එල්ල කරමින් ඔහු සිරගත කිරීමට තීන්දුව ලබාදුන්නේ නෂීඩ්ගේ පාලනය යටතේ අගතියට පත් විනිසුරුවරයකු විසිනි. මේ තීන්දුව එක්සත් ජාතීන් විසින්ද ප්‍රතික්ෂේප කරන ලද්දේ අසාධාරණ බව කියමිනි. රටපුරා මහා උද්ඝෝෂණ ඇරුඹිණි. නෂීඩ් සිරගත කිරීමෙන් පසුව සියලුම විපක්ෂ නායකයන් එක්කෝ සිරගත කරනු ලැබූ අතර නැතිනම් රටින් පිටුවහල් කරන්නට යෙදිණි.

නෂීඩ් ද වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාව පෙන්වා එංගලන්තයට පිටුවාහල් වූයේ දේශපාලන රැකවරණය ලබමිනි. ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟනෂීඩ් ට්විටර් පණිවුඩයක් මගින් එය ප්‍රශංසාවට ලක්කළ අතර මේ තීන්දුවට හිසනමා ජනාධිපති යමීන් ඉල්ලා අස්විය යුතු බව කියා තිබේ. ඔහු රටවැසියන්ගෙන් ගැටුම්වලින් වැළකී සාමකාමී දේශපාලන ක්‍රියාවලියක යෙදෙන ලෙස ඉල්ලා තිබේ.

මේ තීන්දුව ප්‍රකාශ වීමත් සමඟ සිය දහස් ගණන් පිරිසක් පාර්ලිමේන්තු චතුරස්‍රය වෙත රැස්ව ප්‍රීති ඝෝෂා නගන්නට වූහ. ඔවුන් ඉල්ලා සිටින්නේ වහාම ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවත් මේ වසර අග පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිදහස් සහ සාමකාමීව පැවැත්විය යුතු බවත්ය. මේ ජනරාශියට කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල වූ අතර කිහිපදෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇත. නිදහස් කළ රැඳවියන් පස්දෙනා අතර හිටපු උප ජනාධිපතිවරයා, ආරක්ෂක ඇමැති, කුඩා පක්ෂ දෙකක නායකයින් මෙන්ම ආණ්ඩු පක්ෂයේ නීති සම්පාදක නිලධරයකු, විනිසුරුවරයකු සහ හිටපු අභිචෝදිතවරයෙක් ද වෙති.

මේ අතර ජනාධිපතිවරයා සිය පොලිස් ප්‍රධානියාව ඉවත්කළ බව වාර්තා විය. රජයේ ප්‍රකාශකයන් කියා තිබුණේ මේ තීන්දුව පිළිබඳ නිල හෝ නිල නොවන ප්‍රකාශයක් තමන්ට ලැබී නැති බවටය. එකී විශ්වාසවන්තභාවය පිළිබඳ සොයාබලන්නට කටයුතු කරන බවය. ඒ අතර නීතිපති ඇඩම් ෂරීෆ් මේ අනතුරුදායක අවස්ථාවේ ආරක්ෂාවන්තව අරපරෙස්සම ගැන මුලිකත්වය දී ක්‍රියාකරන ලෙස ඉල්ලීමක් කර තිබේ. 

කෙසේ වුවද මේ තීන්දුව මාලදිවයින තුළ නව බලපෙරැළියකට මගපාදා හමාරය. එහි ප්‍රතිඵලය ලැබෙනු ඇත්තේ 2018 අගදීය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00