2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කඩා වැටෙයි!

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

හිරු නොබසින අධිරාජ්‍යයේ ලෝක ප්‍රසිද්ධ ගොඩනැගිල්ල වන වෙස්මිනිස්ටර්  පාර්ලිමේන්තු මන්දිරය කඩා වැටෙන්නට නියමිතය. 1840 ගණන්වල වික්ටෝරියානු ගොතික් සම්ප්‍රදායන්ට අනුව ගොඩනංවා ඇති මේ ගොඩනැගිල්ල තුළින් මැතිසබය රැස්වීම් වෙනත් තැනැකට ගෙනයාම ගැන දැන් ආන්දෝලනාත්මක කතාබහක් ඇතිව තිබේ.

වෙස්මිනිස්ටර් මන්දිරය ලෙස හඳුන්වන මේ ගොඩනැගිල්ලේ බාහිර බිත්ති එය සෑදූ දිනයෙන් පසුව මෙතෙක් පිරිසුදු කර නැත. වැසි දිනවල එහි රැස්වීමට නොහැකිය. වැසිකිළි කැසිකිළි පැත්ත පළාතේ යන්නට නොහැකි තරම්ය. අපිරිසුදු ජලය ගෙනයන නල පද්ධති පුපුරා කාන්දු වීම් බහුලය. විදුලි රැහැන් බුරුතු පිටින් එළියට පැනලාය. මෙහි ඇති විදුලිය ජලය, ගෑස්, සහ උණුසුම රැගෙන යන නල පද්ධති අවසන්වරට පිළිසකර කර ඇත්තේ 1970දීය. මේ නල දිරාපත්ව තැනින් තැනින් කැඩී බිඳී ගොසිනි. ඒවා තුළින් ගමන් ගන්නා ඉහළ උණුසුමක් සහ පීඩනයක් සහිත වායුධාරා ඇස්බැස්ටෝස් සමඟ ක්‍රියාකිරීමෙන් නිකුත්වන විෂ දුම මෙහි සේවකයන්ට අනතුරුදායක ලෙස බලපානා අතර හදිසි ගිනි උපද්‍රව ඇති කරයි. 

2008 සිට 2012 අතර කාලයේදී පමණක් මන්දිරය හතළිස් වාරයක් ගිනි දෙවියාට බිලිවී තිබේ. මේ නිසා දැනටත් සෑම දිනකම හතරපස් දෙනකුගෙන් යුතු ගිනිභට කණ්ඩායම් මන්දිරය පුරා සෑම පැයකට වරක් විපරම් සංචාරයක යෙදේ. පාර්ලිමේන්තු මන්දිරයේ වහළට හානි වී ඇති අයුරු බාහිරවද දක්නට හැකිය. මේ සිදුරු වූ වහලේ රඳවා ඇති ආලෝක පද්ධතියේ සිදුවූ විදුලි කාන්දුවක් නිසා පසුගිය වසරේ ගින්නක්ද හටගත්තේය. පාර්ලිමේන්තු මන්දිරය නැවත මුළුමනින්ම පිළිසකර කිරීම සඳහා යන පිරිවැය 2015 දී ගණන් බැලූ ආකාරයට පවුම් බිලියන 3.5කි. එසේ වුවද මේ වනතුරුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්දිරය ප්‍රතිසංස්කරණය සඳහා අනුමැතියක් ලැබී නැත. වලව්ව ගරා වැටුණත් වංසේ කබල් ගෑම අත්නොහරින්නාක් බඳු කාරණයක් නිසාය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය එය වෙනත් තැනක රැස්වීමෙන් බිඳ වැටෙනවාය යන කාරණාව මුල්කොට ගෙන මුක්කු ගසා හෝ පරණ මන්දිරයේම රැස්වීමට සාමි මණ්ඩලයත් මන්ත්‍රීවරුත් මාන්නක්කාර තීන්දුවක් ගෙන තිබේ. එය හරියටම වසර 40ක් පමණ අබල දුබල තිරිංග පද්ධතියක් ඇති වාහනයක් පැදවීම තරම්ම අනතුරුදායක ක්‍රියාවකි.