2018 ජනවාරි 27 වන සෙනසුරාදා

ඉන්දියාව හෙල්ලූ පද්මාවතී

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 188

පද්මාවතී බොලිවුඩ් චිත්‍රපටය ප්‍රදර්ශනයට විරෝධය පාමින් හින්දු දක්ෂිණාංශික කණ්ඩායම් ගුජරාට් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණ කඩා බිඳ දමා රථවාහන ගිනිබත් කර මහා විනාශයක් කර තිබේ. මෝටර් රථ සහ යතුරුපැදි ගිනිබත් කරනු ලැබීමෙන් අනතුරුව අහ්මදාබාද් නගරයේ රැස්වෙමින් සිටි ප්‍රහාරක කණ්ඩායම් විසුරැවා හැරීමට පොලීසිය වෙඩි තබා ඇත.

ඉන්දීය පුරාවෘත්තයක් වන පද්මාවතී හින්දු රැජනගේ චරිතය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද චිත්‍රපටය ඉතිහාසය විකෘති කිරීමක් බව අන්තවාදී කණ්ඩායම්වල මතයයි. එහෙත් එම චිත්‍රපටය නිර්මාණය කළ සිනමාවේදීන් එම අදහස් ප්‍රතික්ෂේප කර තිබේ.

බ්‍රහස්පතින්දා දිනයේ පද්මාවතී ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලා පියවර ගනිමින් තිබියදී ගුජරාටයේ පමණක් නොව හර්යානා, බිහාර් සහ රාජස්ථාන් ප්‍රාන්තවලද ජනවිරෝධය පාලනයට පොලිසිය යොදා තිබුණි.  හින්දු කාර්ති සේනා නමින් හඳුන්වා ගන්නා කණ්ඩායම් කඩු ලෙලවමින්, ටයර් ගිනි තියමින්, කඩසාප්පු වනසමින්, බස් රථ සහ කාර් රථ වනසා මාර්ග හරස් කරමින් බ්‍රහස්පතින්දා වනවිටත් බිහාරයේ සහ රාජස්ථානයේ මහා විනාශයක් කර තිබුණි. පද්මාවතී තහනම් කරන ලෙස ඉල්ලා සිටිමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කීපයක් ඉදිරිපත් කරනු ලැබ තිබුණත් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරනු ලැබුණි. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒවා බැහැර කරන ලද්දේ කතා කිරීම සහ අදහස් ප්‍රකාශනය සඳහා ඇති අයිතියෙන් සිනමා කලාව වෙන්කළ නොහැකි බව පවසමිනි. සන්ජේ ලීලා භන්සාලි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන පද්මාවතී දාහතර වැනි සියවසට අයත් මුඛ පරම්පරාගත වෘත්තාන්තයක් පාදක කර ගනිමින් නිමවුණ සිනමා සිත්තමකි.

අධ්‍යක්ෂ සන්ජේ ලීලා භන්සාලි පද්මාවතී සිනමාපටයේ තිර කතාව ලියා ඇත්තේ මලික් මුහම්මද් ජයසි කවියාගේ පද්මාවත් කාව්‍යය (1540) මගින් ලද ආභාෂය අනුව යමිනි. ඉන්දීය පුරාවෘත්තවල පද්මාවතී රැජන රානි පද්මිනී යනුවෙන්ද හඳුන්වනු ලැබ ඇත. රාජ්පුත් සහ හින්දු කණ්ඩායම් චිත්‍රපටයේ පද්මාවතී චරිතයට දීපිකා පදුකෝන් නිළිය පෙනී සිටීම මගින් එම ඓතිහාසික පරමාදර්ශ චරිතය කෙලෙසීමක් සිදුවන බව පවසමින් පාරට බැස තිබුණි.