2018 ජනවාරි 27 වන සෙනසුරාදා

ට්‍රම්ප් නැවතත් නා ගනී

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

මෙවර ලෝක ආර්ථික සමුළුව ඩාවෝස් නුවර ඇරැඹුණේ අඩි 6ක් උසට හිමකඳු ගොඩගැසුණු ශීත කුණාටුවක් අතරය. ස්විස්ටර්ලන්ත ඇල්ප්ස් කඳුවැටිය අසබඩ පැවැති මේ රැස්වීම උණුසුම් කරන්නට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට මෙවර හැකියාවක් ලැබුණේ නැත. ඒ වෙනුවට ඔහු මේ තද සීතල රටේදී නැවත වරක් හොඳ හැටි නා ගත්තේය. ගියවර සමුළුව උණුසුම් වුණේ, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන ආරංචියත් සමගිනි. ඔහු ලෝකයේම ජනකාන්ත තරුවක් බවට පත්ව තිබුණි. නමුත් මෙවර ඩාවෝස් නුවර සමුළුව වෙත යන ට්‍රම්ප් සිය රටේ උත්තරීතර ආයතනය තුළින්ද අවලංගු කාසියක් බවට පත්කර දැමූ තැනැත්තෙකු වී හමාරය.

පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආණ්ඩුවේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය වියදම් ඉල්ලා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනේට් මණ්ඩලයේදී පරාජය විය. මේ හේතුවෙන් දින 3ක් අමෙරිකාවේ රාජ්‍ය ආයතන පැවැතියේ අකර්මන්‍ය තත්ත්වයකය. මුදල් පනතේ බල රහිත වීමත් සමග අමෙරිකානු රජයේ සියලු කටයුතු අතරමග නැවැතිනි. සේවකයන් ලක්ෂ ගණනක් අවිනිශ්චිතතාවකට පත් වූහ. මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය සේවා ලෙස සැලකෙන අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සේවා පවත්වාගෙන ගියද බොහෝ ආණ්ඩුවේ ආයතන සේවකයන් වැටුප් රහිත නිවාඩු යවා තිබුණි. දින තුනක කාලයක් තුළදී මේ අවනඩුව විසඳා ගැනීමට ට්‍රම්ප් සමත්ව තිබුණි. ව්‍යවස්ථාදායකයත් විධායකයත් තුළ තමන්ගේම පක්ෂයට බහුතරය හිමිව තිබියදී අමෙරිකානු ජනාධිපතිවරයකු බලයට පත්ව වසරක් තුළදී මෙවන් අර්බුදයකට මුහුණ පෑවේ මේ මුල්වරටය. ට්‍රම්ප් ලෝකයේ ආර්ථිකය ගැන ලොකු ලොක්කන්ගේ සාකච්ඡාවට යන්නේ මෙසේ තමන්ගේම රටේ ආර්ථිකය ගැටගසා ගන්නට සහයෝගය ලබාගත නොහැකි හෑල්ලුවට ලක්වූ නායකයකු ලෙසටය. 

සිකුරාදා හවස ඩාවෝස් ගිය ට්‍රම්ප්ගේ අරමුණ වී ඇත්තේ අමෙරිකාවේ පුරාජේරුව වර්ණනා කිරීමත් එහි දැනට සිදුව ඇති සංවර්ධනාත්මක වෙනස්කම් ලෝකයට පැවැසීමය. නමුත් ඩාවෝස් නුවර සීතල මැද්දේ පැවති මේ සමුළුවේදීද ට්‍රම්ප් හොඳහැටි නා ගත්තේය. පලස්තීනයට තරවටු කිරීම මගිනි. සිය ගජයා වන ඊශ්‍රායල ජනාධිපති නෙතන්යාහුද පසෙක හිඳුවාගන ට්‍රම්ප් කටපත්ත ඇද්දේ පලස්තීන අනාථයන් වෙත ආධාර ලබාදෙන එක්සත් ජාතීන්ගේ ආයතනයට මුදල් ලබාදීම නවත්වන බවටය. 

ට්‍රම්ප්ගේ මේ තර්ජනයත් සමග විරෝධතා ගලාගියේ අමෙරිකාවේ වීදි පුරාය. ජනප්‍රිය නළු නිළියන් වන හියු ග්‍රාන්ට්, එමා තොම්ප්සන්, ජිලියන් ඇන්ඩර්සන් ඇතුළු ප්‍රභූ පිරිසක් මේ විරෝධයේ මුල්තැන ගෙන තිබුණි. ට්‍රම්ප් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ඔවුන්ට මරණීය තර්ජනයක් එල්ල කර ඇති බවටත් මේ අය චෝදනා කරති.

පලස්තීනයෙන් පලාගොස් මැදපෙරදිග විසිරී ජීවත්වන ලක්ෂ 50ක් පමණ වූ ජනතාවට ආධාර සපයන එක්සත් ජාතීන්ගේ UNRWA වෙත වොෂින්ටනය ඩොලර් මිලියන 65ක මූල්‍යාධාර ලබාදෙයි. ට්‍රම්ප් තර්ජනය කර ඇත්තේ මේ මුදල ලබා නොදෙන බවටය. අන්තර්ජාතික සංවිධාන 21ක් මේ අමානුෂික තීන්දුව පිළිබඳව නැවත සලකා බලන ලෙස බලකර තිබේ. දේශපාලනය ගැන මානුෂික ආධාර පටලවා නොගන්නා ලෙසට ඔවුන් කරුණු දක්වා තිබේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00