2018 ජනවාරි 20 වන සෙනසුරාදා

තැටිය රත් නොවූ පුංචි ඡන්දය

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 198

රටේ මහජනතාවට වඩා විපක්ෂය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අපේක්ෂාවෙන් බලා සිටි පුංචි ඡන්දයට තවත් ඇත්තේ දවස් 19කි. මැතිවරණ ප්‍රචාරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පනවන ලද නීති හේතුවෙන් හෝ නව කොට්ඨාස ඡන්ද ක්‍රමය හේතුවෙන් මේ වනවිටත් දකින්නට ඇත්තේ ඡන්ද ප්‍රචාරණයේ ඇල්මැරුණු ස්වරෑපයකි. මේ බව ජනමාධ්‍ය පරිශීලනයේදී මෙන්ම මගතොට සැරිසැරීමේදී මනාව පැහැදිලිවේ.

2015 මහ මැතිවරණය මෙරට පැවැත්වුණු අවසන් ඡන්දයයි. එම ඡන්දය මෙන්ම ඊට ඉහතදී පැවැත්වූ සෑම මැතිවරණයදීම මෙවැනි ඇල්මැරුණු හෝ පසුගාමී ඡන්ද ප්‍රචාරණයක් තිබුණේ නැත. ඒ සෑම මැතිවරණයකදීම පාහේ රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි විද්‍යුත් මාධ්‍යවලින් හා පුවත්පත් වැනි මුද්‍රිත මාධ්‍ය ඔස්සේද සමාජජාල වෙබ් අඩවි ඔස්සේද සුවිසල් ප්‍රචාරණ ක්‍රියාවලියක් ගෙනයාමට සියලුම දේශපාලන පක්ෂ ක්‍රියාකර තිබිණ. ඒ සෑම කටයුත්තක් සඳහාම අධික මුදලක් වැයකර නිර්මාණාත්මක උපක්‍රම යොදාගන්නට පියවර ගෙන තිබුණි.

ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිත 2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එවැනි ඡන්ද ව්‍යාපාරයක් තවම දකින්නට නොලැබුණද ප්‍රධාන පෙළේ පක්ෂ සියල්ල ඔවුන්ගේ අදහස ජනතාව වෙත රැගෙන යාමට අවශ්‍ය සැලසුම් සකසා අවසන්ය. අැතැම් පක්ෂ දැනටමත් ඒවා ක්‍රියාවට නංවමින් සිටී.

මෙවර මැතිවරණය සඳහාත් ආණ්ඩු පක්ෂය ප්‍රධානව සෙසු පක්ෂ සියල්ල සිත් ඇදගන්නා සුළු ආකර්ෂණීය තේමා පාඨ යොදාගෙන තිබේ. පුංචි ඡන්දය සඳහා එක්සත් ජාතික පක්ෂයේ තේමා පාඨය ගමේ ආණ්ඩුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට රටේ බලයත් ගමේ බලයත් නිදහසට යනුවෙන් දක්වා තිබේ. ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ තේමා පාඨය යළිත් අපි රට හදමු යන්නයි. මේ සියල්ල අතර ජනතා විමුක්ති පෙරමුණේ තේමාව ගම ගොඩනගන දූෂණය පරදන ජවය වශයෙන් දක්වයි. සියලුම තේමාවන් ජනතාවට ආකර්ෂණීය ලෙසත් හොඳින් දැනෙනා ලෙසත් යොදාගන්නට උත්සාහ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය තුළදී දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ප්‍රධාන රැළි 28ක් පැවැත්වීමට නියමිතය. ඒ සියල්ල සඳහා පක්ෂනායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිත බවද එක් මැතිවරණ කොට්ඨාසයකට අදාළව ප්‍රධාන රැස්වීම් 3ක් පක්ෂයේ මන්ත්‍රීවරු හා අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර පැවසීය. එමෙන්ම එක් මැතිවරණ කොට්ඨාසයකට වතු රැස්වීම් 10 බැගින් පැවැත්වීමට නියමිතය. ඡන්ද අපේක්ෂකයන් සිය කොට්ඨාසය තුළ රැස්වීම් 4ක් හෝ 5ක් පැවැත්විය යුතුය. මේ සඳහා පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් සහභාගී වනු ඇත. මේ අතර ගෙයින් ගෙට ඇවිදිමින් දැනුම්වත් කිරීම් සිදුකරනු ලබන අතර ගමේ එක නිවෙසකට තුන්වතාවක්වත් යාම අරමුණය. දෙවැනි වතාවේ ගෙදරකට යන අවස්ථාවේ ගමේ ආණ්ඩුව නව වැඩපිළිවෙළ පිළිබඳ අත් පත්‍රිකාවක් බෙදීම සිදුකෙරේ. සෑම අපේක්ෂකයෙක්ම නිල කාර්යාලයක් පවත්වාගෙන යන අතර කිසිදු සැරසිල්ලක් සඳහා පොලිතීන් යොදා නොගනී. ඒ සඳහා රෙදි භාවිතා කිරීමට පියවර ගන්නා අතර අගමැතිවරයා සහභාගි වන රුස්වීම් සඳහා පෝස්ටර් හා බැනර් යොදාගැනීම සිදුකෙරේ. මේ අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ගමේ ආණ්ඩුව මැතිවරණය ආසන්නයේදී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරණයකට සූදානම් බව සුදත් චන්ද්‍රසේකර මහතා කීහ.

පොහොට්ටුව ලාංඡනයෙන් තරග කරන පොදුජන පෙරමුණ සිය ඡන්ද ව්‍යාපාරය තුළදී පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පණිවුඩයක් සෑම නිවෙසක් වෙතම බෙදාදීම සිදුකෙරේ. ඒ සඳහා එක නිවෙසකට තුන්වතාවක් ගමන් කිරීම අපේක්ෂකයන්ගේ වගකීමය. සෑම කොට්ඨාසයකම පක්ෂ කාර්යාල පිහිටුවා තිබෙන අතර දිස්ත්‍රික් මට්ටමින් ප්‍රධාන රැළි පැවැත්වීමට නියමිතය. ඊට අමතරව ආසන මට්ටමින් පක්ෂයේ දෙවන පෙළ සාමාජිකයන් සහභාගී වන රැස්වීම් පැවැත්වේ. පළාත් පාලන ආයතන මට්ටමින් හා කොට්ඨාස මට්ටමින් පොකට් රැස්වීම් පැවැත්වීමට සූදානමක් පවතින අතර මැතිවරණ නීති ගරු කරමින් දීපව්‍යාප්තව විශාල රැළි ප්‍රමාණයක් පැවැත්වීමටත් ඡන්දය පැවැත්වෙන ආසන්න දිනවලදී ජනමාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරණයක් සිදුකිරීමට මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ නොසිතූ විරූ ප්‍රචාරණයක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

ගම ගොඩනගන දූෂණය පරදන ජවය තේමා කොටගත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරණ ක්‍රියාවලිය මේ වනවිටත් ක්‍රියාත්මකය. එය ගම් මට්ටමින් අරඹා තිබෙන අතර සැම නිවෙසක් ආවරණය වන පරිදි දැනුම්වත් කිරීම සිදුකෙරේ. එහිදී කොට්ඨාසයට අනන්‍ය වූ සංවර්ධන වැඩපිළිවෙළක් පිළිබඳ අත් පත්‍රිකාවක් බෙදාදීමට නියමිතය. එහි ඇත්තේ එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රදේශයට පත්වූ විට සිදුකරන සංවර්ධන ක්‍රියාවලියයි. මෙහිදී පොදු පහසුකම් සඳහා ප්‍රමුඛතාවය හිමිවේ. ඊට අමතරව සෑම ප්‍රදේශයකම පවත්වන රැස්වීම්වලදී මෙම පත්‍රිකා බෙදීම සිදුකරයි. මොවුන්ගේ විශේෂත්වය වන්නේ ගමට ඇවැසි සංවර්ධනය තුළින් ගම ගොඩනගන ව්‍යාපාරය පිළිබඳ දැනුම්වත් කිරීම බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. මේ හැර පොකට් රැස්වීම් රැසක් පැවැත්වීමට නියමිතය. මීට අමතරව ජාතික මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ, පළාත් මට්ටමේ හා ජනරුළි හා ජනහමු පැවැත්වීමට සූදානම්ය. මෙවැනි ප්‍රධාන ජනහමු සීයකට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා පැවැත්වීමට සූදානම් බවද ඒ මහතා කියා සිටියේය. මීට අමතරව ප්‍රධාන ජනහමු සඳහා පෝස්ටර්, බැනර් භාවිතා කිරීමට නියමිත අතර ඡන්දය ආසන්නයේදී රූපවාහිනිය, ගුවන් විදුලිය සහ පුවත්පත් මාධ්‍ය ඔස්සේ දැවැන්ත ව්‍යාපාරයක් ගෙනයාමට නියමිතය.
මේ අයුරින් පුංචි ඡන්දය සඳහා ඉදිරිපත්ව සිටින සියලුම පක්ෂ ගමේ සංවර්ධනය මූලික කොටගෙන සිටී. ඒ අනුව මහාමාර්ග ඇතුළු පොදු පහසුකම් නැංවීම, සහනාධාර ලබාදීම, දූෂණය වැළකීම, දිළිඳුකම පිටුදැකීම හරහා ජනතාවට නව ආරක ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීමට පුංචි ඡන්දයෙන් පියවර ගනු ඇති බව පෙනෙන්නට තිබේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර