2017 ජනවාරි 07 වන සෙනසුරාදා

සදාම් හිටියා නම් හොඳයිලු

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 204

සදාම් හුසේන් පාලනය පෙරලා දමනු ලැබීමෙන් පසු ඉරාකයේ උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වෙන බව ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) හිටපු නියෝජිත ජෝන් නික්සන් කියා තිබේ. ඉරාක යුද්ධය පරාජය වී පළාගොස් සැඟව සිටියදී 2003 දෙසැම්බර් මාසයේ අල්ලාගත් සදාම් හුසේන්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ ජෝන් නික්සන් (John Nixon) නම් එම සී.අයි.ඒ. නියෝජිතයා විසිනි.

සදාම් පාලනය බිඳ හෙළනු ලැබීමෙන් අනතුරුව ඉරාකයේ කවර තත්ත්වයක් උද්ගතවේද යන්න සම්බන්ධයෙන් බුෂ් පරිපාලනයට අදහසක් නොවූ බවත් ඔහු කියයි.

ඊනියා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම්වල නැඟීම ගැන අවධානය යොමුකළ ජෝන් නික්සන් සදාම් හුසේන් ඉරාක් පාලනයේ දිගටම රුඳී සිටියේ නම් කලාපය වඩාත් යහපත් තත්ත්වයක පවතිනු ඇත යන්න සිය විශ්වාසය බවත් සඳහන් කළේය.

එය 2003දී ඉරාකය ආක්‍රමණය කිරීමට හවුල් වූ බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් විසින් බැහැර කරනු ලැබුණ අදහසකි. ඇමෙරිකානු රහස් ඔත්තු අංශ වෙනුවෙන් 1998 පටන් ඉරාක් නායකයා අධ්‍යයනය කළ පුද්ගලයකු වන ජෝන් නික්සන් වැඩිදුරටත් අදහස් දක්වමින්, සදාම් හුසේන් යනු CIA සංවිධානය මගින් නිරූපණය කළ ආකාරයේ පුද්ගලයකු නොව ඔහු අභ්‍යන්තරයේ මානුෂික පැත්තක් දක්නට ලැබුණ බව දැන් කියයි.

සදාම් හුසේන් යනු තම ජීවිත කාලය තුළ මුණගැසුණ වඩාත්ම ආකර්ෂණීය පුද්ගලයා වන බව පවසන ජෝන් නික්සන්, සදාම්ට අවශ්‍ය මොහොතේ ඔහු චාම් යහපත් සහ විනෝදශීලී මෙන්ම ආචාරශීලී පුද්ගලයකු බවට පත්වන බව ඔහු කියයි. ජෝන් නික්සන් 2011 වසරේ ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයෙන් ඉවත්විය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00