2018 ජනවාරි 13 වන සෙනසුරාදා

අමෙරිකාවේ හිම යුගයක්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 280

අමෙරිකාව මේ දිනවල තද සීතලයකින් බැට කයි. කොයිතරම් සීතලදැයි කීවොත් නිදහසේ ප්‍රතිමාව පන්දමත් අතහැර දමා අත්පොරවාගන වකුටු වී සිටින්නට සලස්වන තරම් වූ සීතලක් යැයි ඇතැම්හු කියති. තේරෙන බාසාවෙන් කිවහොත් අවුරුදු 40කට පසු කඩාවැටුණු මහා හිම කෝඩය නිසා අමෙරිකානුවන් අත්විඳින්නේ පට්ට සීතලකි. Bomb නමැති හිම කුණාටුවේ කඩා වැදීමත් සමඟ ඊසාන දිග වෙරළ තීරයේ සහ නැගෙනහිර සීමාවේ ඇතැම් ප්‍රදේශවල සිසිලස අඟහරැ මත සීතලත් පරදන තරම් බව මාධ්‍ය වාර්තා කර තිබේ. හිම කුණාටුව හේතුවෙන් සමහර ස්ථානවල අඟල් 18ටත් වඩා ඉහළට හිම තට්ටු පතිත වී තිබේ.

ග්‍රේසන් හිම කුණාටුව කඩා වැදීමත් සමඟ සිසිර නිවාඩුව ඇරඹුණු අතර ඒ සමගම Bomb කුණාටුව හඹා එන්නට විය. ශීත සුළං ප්‍රවාහ ඍන 100 තරම් අධික සීතලකින් යුතු අතර සම නිරාවරණය වුවහොත් සීතලෙන් ගිනිගනු ඇතැයි වෛද්‍යවරු අනතුරැ අඟවා තිබේ. වොෂින්ටන් කඳුවැටිය සහ කැනඩාවේ ඔන්ටාරියෝ සහ ආර්ම්ස්ටෝන්ග් නගර ඍන 10 ශීතට ලක්ව ඇති ප්‍රදේශයන්ය. ෆිලඩෙල්පියා සහ නිව්යෝර්ක්වල උෂ්ණත්වය ඍන 8ටත් අඩුය. බර්ලින්ග්ටන් සහ වර්මොන්ට්වල එය ඍන 1ට අඩුව තිබේ.

මේ සීතල අමෙරිකාව ඉල්ලන් කෑ සීතලකි. නැත්නම් ඔවුන් වවාගත් අස්වැන්න නෙලා ගැනීමකි. 1985 දී ජෝර්ජ් බුෂ් ලෝක පරිසර සමුළුවෙන් නැගිට ගියේ ලෝක දේශගුණික විපර්යාස සඳහා හේතුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අඩු කරන්නට යැයි තමන්ගේ රටේ ව්‍යාපාරිකයන්ට තහංචි දමන්නට නොහැකි බව කියමිනි. ඩොනල්ඩ් ට්‍රම්ප්ද පසුගියදා ඒ මඟම ගියේය. ලෝකයේම පරිසර තත්ත්වයන් උඩු යටිකුරු කිරීමට හේතු වූ මේ සංසිද්ධිය නොදැක්කා සේ සිටීමෙන් අමෙරිකාව දැන් තමන්ගේ එළිපත්තටම ශීත යුගයේ විනාශය ළඟා කරගෙන සිටියි.

මේ අතර ලෝක දේශගුණික විපර්යාසයේ තරම පෙන්වන්නට මෙන් ඕස්ට්‍රේලියාවට තද පෑවිල්ලක් අල්ලා තිබේ. වසර 80කට පසු වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසුගිය සතියේ සිඩ්නි නුවරින් වාර්තා විය.