2018 ජනවාරි 13 වන සෙනසුරාදා

මහතීර්: වයසට ගියත් අගමැති සටනට

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

සමහර නායකයන් තමන්ගේ ධුර කාලය දිගුකරවා ගන්නට නොයෙකුත් උප්පරවැට්ටි යොදන මේ කාලයේ නහින දෙහින කාලේ පරණ පිනක් කඩාවැටුණු නායකයකු ගැනයි මේ. ඔහු මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ය. 1981 සිට 2003 අතර කාලයේ මැලේසියාවේ අගමැති ධුරය හෙබැවූ මහතීර් මොහොමඩ් දැන් සිටින්නේ 92 හැවිරිදි වියේය. රටක් පාලනය කරන්නට නියමිත වයස කොපමණදැයි අසන අයට 92ත් වයසක්දැයි කියන්නට මෙන් මහතීර් හට දැන් නැවත අගමැතිකම දෙන්නට මැලේසියාවේ විපක්ෂය සූදානම්ව සිටියි. ඔහු අගමැති පොරයට නම් කිරීම මගිනි.

වසර 22ක් අගමැති ධුරය හෙබැවූ මහතීර් තමන්ට කලින් බලය ලබාදුන් තමන්ගේම පක්ෂයට එරෙහිව දැන් තරග කරන්නට සැරසේ. දේශපාලනය තුළ සදාකාලික හතුරන් හෝ මිතුරන් නැතැයි යන කියමන සහතික කරන්නට මෙන් මහතීර් මෙවර තරගයට එන්නේ වරක් ඔහු විසින්ම දූෂිතයෙක් සහ සමලිංගිකයෙක්ය යන චෝදනා නගා සිරගත කළ හිටපු උප අගමැති අන්වර් ඉබ්‍රාහීම් සමග අත්වැල් බැඳ ගනිමිනි. මැලේසියාවේ මීළඟ මැතිවරණය මේ අවුරුද්දේ අගෝස්තුවට පෙර පැවැත්වීමට නියමිතය. බොහෝ දෙනා බලාපොරොත්තුව සිටින්නේ එය මාර්තුවේ පැවැත්වෙනු ඇතැයි කියාය.

2013 දී ජනප්‍රිය ඡන්ද දිනාගන්නට විපක්ෂ කණ්ඩායම් සමත් වුවද ඔවුන්ට ජාතික මට්ටමින් බහුතර මැලේ ඡන්ද හිමිව තිබුණේ නැත. මෙවර මහතීර් ඡන්ද වේදිකාවට ගෙන එන්නේ එකී ඡන්ද ඩැහැ ගැනීමේ උගුලක් හැටියටය. මහතීර් ප්‍රසිද්ධව ඇත්තේ තමන්ගේ තනතුරට ආ අනුප්‍රාප්තිකයන් තදබල විවේචනයට ලක්කරන්නෙකු හැටියටය. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක ආයෝජන යටිමඩි ගැසීමේ චෝදනාවට ලක්ව සිටින නජීබ් රසාක් බලයෙන් පන්නා දැමීමට විපක්ෂය තමා බළල් අතක් සේ උපයෝගී කර ගැනීම ගැන මහතීර් සිටින්නේ අසතුටකින් නම් නොවේ. 92 හැවිරිදි මහතීර්ගේ පුනරාගමනය පිළිබඳව ජාත්‍යන්තරය තුළින්ද මතුව ඇත්තේ ප්‍රසාදයකි. මේ අනුව මහතීර් මෙවර ඉදිරියට එන්නේ මැලේසියාවේ සදාකාලික ගැලවුම්කරුවා හැටියටය.

 

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00
 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00