2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ඉම්රාන්ගේ තුන්වැනි ඉනිම

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 254

ලෝක ක්‍රිකට් පිටියේ හොඳ හරඹකාරයකු වූ ඉම්රාන් ඛාන් දැන් සිය ශිල්ප දක්වන්නේ පාකිස්තාන දේශපාලන පොර පිටියේය. ඒ අතර ඔහු සිය ආදර ජීවිතයේද ලොකු ලොකු හරඹ දක්වමින් සිටියි. ඒ අනුව දැන් ඔහු සිය ප්‍රේම ලෝකයේ තුන්වැනි ඉනිමද අරඹා හමාරය.

මේ වනවිට 65 වැනි වියේ පසුවන ඉම්රාන් කලින් දෙවරක් විවාහ වූ අතර ඒ දෙදෙනාගෙන්ම දික්කසාද වී සිටියි. දැන් ඔහු අලුත් බිරියක් ගෙට ගෙන එන්නට සැලසුම් සකසමින් සිටියි. පින්කි නමින් හඳුන්වන ඉම්රාන්ගේ අලුත් ප්‍රේමවන්තිය බෂාරා මනේකා නමැති පස්දරු මවකි. ඇය පෙර විවාහයෙන් දික්කසාද වූ හතළිස් හැවිරිදි තැනැත්තියකි. මෙයට වසර දෙකකට පෙර මැතිවරණ කටයුතු අතරදී මේ දෙදෙනා මුණගැසී තිබේ. ඉම්රාන් මනේකා වෙත විවාහ යෝජනාව මේ වනවිටත් ඉදිරිපත් කර ඇතත් ඇය එය සලකා බලන්නට කල් ඉල්ලා තිබේ.

ඉම්රාන්ගේ පළමු බිරිය ජෙමීමා ගෝල්ඩ්ස්මිත් හට ඉම්රාන්ට දාව පුතුන් දෙදෙනෙකි. මේ දෙදෙනාගේ විවාහය වසර 9ක කාලයක් පමණක් පැවතුණි. බටහිර පන්නයට නැඹුරු වූ එහෙයින්ම පාකිස්තානය තුළ දැඩි විවේචනාත්මක කතාබහකට එල්ලයක් වූ ඉම්රාන්ගේ දෙවැනි බිරිය රීහෙම් සමඟ ඔහු ගතකළේ මාස 9ක් වූ කෙටි විවාහ දිවියකි. දැන් ඔහු සිය තුන්වැනි ඉනිමට සැරසී සිටියි. 

ඉම්රාන්ගේ සිතගත් පින්කි අධ්‍යාත්මික උපදේශිකාවකි. ඈ සතුව මහා අධ්‍යාත්මික ගුප්ත බලයක් ඇති බව ඉම්රාන් විශ්වාස කරයි. මේ බලවේග තමන්ගේ දේශපාලන ජයග්‍රහණය සඳහා යොදාගැනීම ඔහුගේ යටි අරමුණ වී තිබෙන බව මාධ්‍ය විස්තර කර තිබේ.