2018 ජනවාරි 06 වන සෙනසුරාදා

චීන අහස් ලබ්බ කඩා වැටෙයි

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 335

ඇත්ත පත්‍රය මේ රටේ පුවත්පත් කලාවේ අමුතු නිර්මාණ ඉදිරිපත් කළ පුරෝගාමී මාධ්‍යයකි. එහි කර්තෘ බී.ඒ. සිරිවර්ධන උපහාසය කැටිකොටගත් වෙඩි බඳු හෙඩිම් කලාවේ නිපුණයෙකි. 1979 ජූලි මාසයේ ඇත්තේ අමුතු හෙඩිමක් පලවිය. අහස් ලබ්බ කඩා වැටෙයි! යනුවෙනි. අමෙරිකානු නාසා ආයතනය 1973 දී උඩු ගුවනට යවා තිබූ ඔවුන්ගේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන Sky lab යානය නැවත මහ පොළොව වෙත ඇතුළුවීම ඒ කාලයේ මාධ්‍යවලට ලොකු ආන්දෝලනාත්මක වාර්තාවක් සැපැයීය. කලින් කියා තිබූ වේලාවට වඩා පැය බාගයක් ප්‍රමාද වී ඇදවැටුණු අමෙරිකන් අහස් ලබ්බ කලින් කියා තිබූ ආකාරයට පැසිෆික් සාගරය වෙත ඇදවැටෙනු වෙනුවට ඕස්ට්‍රේලියාවේ නගර දෙකක් වන එස්පෙරාන්ස් සහ රොවිලිනා වෙත එහි ලොකු කොටස් කිහිපයක් ඇද වැටුණි. 

මේ සිද්ධිය එක් තැනැත්තෙකුහට ලොකු වාසනාවක් උදා කළේය. එස්පෙරාන්ස් හි ස්ටාර්න් තෝර්න්ටන් හටය. ඔහුගේ වහළ මත වැටුණු කොටස රැගෙන වහාම කැලිෆෝනියාවට යාමත් සමගිනි. එහිදී San Fransisco Examinar පුවත්පත මුල්ම Sky lab කොටසක් ගෙන එන තැනැත්තාට ලබාදීමට පොරොන්දුව තිබූ ලංකා මුදලින් රුපියල් 4,605,000න් ඔහුට ලැබුණි. 

දැන් නැවතත් අහස් ලබ්බක් කඩා වැටෙන්නට යයි. මෙවර චීනයෙනි. චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වන ටියැන් ගොන්ග් - 1 (Tian gong 1) නැතිනම් දිව්‍යමයතලය ලෙස හඳුන්වා ඇති මේ පර්යේෂණාගාරය මාර්තු මාසයේදී පොළොව වෙත ඇද වැටීමට නියමිතය. ඒ අවුරුදු හතරකට ආසන්න කාලයක් එය පෘථිවිය ඉහළ අභ්‍යවකාශයේ රැඳී කළ මෙහෙවරින් පසුවය.

මේ මධ්‍යස්ථානය ඇද වැටීමට නියමිත කලාපය හැටියට සමකය දෙපස විශාල ප්‍රදේශයක් දක්වා තිබේ. උතුරේ අමෙරිකාව, යුරෝපය සහ ආසියාවත්, දකුණු අර්ධ ගෝලයේ නවසීලන්තය, ටැස්මේනියාව, චිලිය සහ ආර්ජන්ටිනාවත් මේ අන්තරායකර ප්‍රදේශයට ඇතුළත්ය. ලංකාවද මේ අනතුරුදායක කලාපයට ඇතුළත්ව තිබේ. නමුත් මේ මධ්‍යස්ථානය පෘථිවියට ඇතුළු වීමේදී ඉතා කුඩා කොටස්වලට කැඩී යාමට නියමිතය. ඉතින් මේ චීන අහස්ලබු කැබැල්ලක් කෙනෙකුගේ ඇඟේ වැදීමට ඇති හැකියාව ලොතරැයි ටිකැට්ටුවක් ඇදීමේ අවස්ථාව මෙන් ට්‍රිලියන ගුණයකින් 1ක් පමණ අතිශය දුලබ වූවකි. කොටින්ම කණ කැස්බෑවා විය සිදුරින් අහස දකිනවාක් බඳු වැඩක් බව විද්වතුන් පෙන්වා දෙති.

ඒ අන්දමට අහසින් කඩාවැටුණු රොකට් කෑල්ලක් ඇඟේ වැදීමේ වාසනාව ලද ඉතිහාසගත එකම තැනැත්තිය ලෙස වාර්තාගතව ඇත්තේ ඔක්ලෝහෝමා ජනපදයේ පදිංචිකාරියකව සිටි ලොටී විලියම්ස් නැමැත්තියයි. අහසින් වැටුණු රොකට් බූස්ටරයක කුඩා කොටසක් ඇගේ සිරුරේ ගැටුණේ 1997 ජනවාරි 22 වැනිදාය. දැන් ඒ සිද්ධිය සිදුවී අවුරුදු 21 සැපිරීමටද නියමිතය. ඒ අතර අසන්නට ලැබෙන අපූරුම කාරණාව වන්නේ පසුගිය වසර 40ක කාලය තුළදී අභ්‍යවකාශ කුණු කන්දල් ලෙස හැඳින්වෙන මේ කඩා වැටෙන, පුපුරා යන රොකට්, චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ මධ්‍යස්ථානවල කොටස් ටොන් 5400ක් පමණ කිසිවෙකුටත් කරදරයක් නොකර හීන් සීරුවේම මහ පොළොවට පතිත වී ඇති බවය.