2018 ජනවාරි 06 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගේ ළමා කතා මැද කිම් ජොංගේ උප්පරවැට්ටි

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 191

එයාගේ එකට වඩා මගේ එක ලොකුයි මේ කියන කතාව සාමාන්‍යයෙන් බාලාංශ පංන්තිවල දරුවන් අතර දබරයකදී මතුවන්නකි. නමුත් ලෝකයේ අංක එක ලෙස පෙනී සිටින අමෙරිකානු ජනාධිපතිවරයාද මේ ළමා කතාව කියා ලෝකයේම උපහාසයට පසුගියදා ලක්විය. ඔහු ලොකුය කියා හැඳින්වූයේ තමන් සතු න්‍යෂ්ඨික අවි ප්‍රමාණයයි.

උතුරු කොරියාවේ නායක කිම් ජොං උන් අලුත් අවුරුද්ද ඇරඹුවේ පුරැදු පරිදි අමෙරිකාව අවුස්සන කතාවක් කියමිනි. ඒ තමන් සතුව ඇත්තේ ලොකුම න්‍යෂ්ටික අවියක් බව කියමිනි. මේ කතාවෙන් ඇවිස්සුණු ට්‍රම්ප් කියා තිබුණේ මගේ එක එයාට වැඩිය ලොකුයි. හයියයි. ඒ විතරක් නෙමේ ඒක දැනටත් වැඩ කියාය. එයින් නොනැවතුණ ට්‍රම්ප් මහා බොරුවක්ද ඇද බෑවේ තමන්ගේ මේසය මත න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක කරන බොත්තම ඇති බව කියමිනි. එසේම තමන්ට කැමැති වෙලාවක හිතුමතේ මේ බොත්තම තදකළ හැකි බව කියමිනි. ට්‍රම්ප් සහ උන් අතර මේ වහසි බස් හුවමාරැව අතර ජනාධිපති ට්‍රම්ප් උමතු කරවන තවත් සිදුවීමක් වූයේ ඔහුගේ හිටපු උපදේශකයකු වන ස්ටීව් බෙනන්ගේ ට්‍රම්ප්ගේ රස රහස් ග්‍රන්ථය එළියට පැමිණීමය. ට්‍රම්ප් පිළිබඳ සියලු රස කතා අතර රුසියාව සමඟ ට්‍රම්ප්ගේ පුත්‍රයා පැවැත්වූ කුමන්ත්‍රණ කාර්යයන් පිළිබඳව මෙහිදී හෙළිදරව් කර තිබෙන බව කියයි.

මේ අතර කිම් ජොං උන් අපූරු වැඩක් කළේය. ඔහු සිය අලුත් අවුරුදු කතාවේදී දකුණු කොරියාව සමග සාකච්ඡාවට තමන් සූදානම් බව කීවේ ලෝකයම පුදුමයට පත් කරවමිනි. මේ අනුව කොරියානු රාජ්‍ය ඒකාබද්ධ කිරීම ගැන කතාබහ කිරීමට සටන් විරාම ගම ලෙස ප්‍රසිද්ධිව ඇති දේශසීමා අධි ආරක්ෂක කලාපයේ පිහිටා ඇති පන්ටුන්ජොම් ගම්මානයේදී දෙරට මුණගැසී සාකච්ඡා කිරීමට දැන් යෝජනා වී තිබේ. වාර ගණනාවක්ම මෙබඳු සටන් විරාම කතා පැවැතියද ඒවා සාර්ථක වූයේ නැත. අවසන් සාකච්ඡාව 2015 දී පැවැත්විණි. කෙසේ වුවද කිම් ජොං උන්ගේ උප්පරවැට්ටිය වී ඇත්තේ සාම කතා මුවාවෙන් ලබන පෙබරවාරියේ පැවැත්වෙන ඔලිම්පික් සඳහා තම ක්‍රීඩකයන් සහභාගී කරවීමය. ඒ අතරම කිම් ජොං උන්ගේ මිසයිල පරීක්ෂාවක් අතේ පත්තු වූයේ එය නැවත උතුරු කොරියානු භූමියටම කඩා වැටීමත් සමඟිනි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00