2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගේ නරිනාටක මැද 2018 දී ලෝක පෙරළියක්

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 338

ඔල්මාද මහල්ලා ලෙස උතුරු කොරියාවේ මහත මිට්ටා ගේ උපහාසයට ලක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නරිනාටක මැද 2017 ගෙවී ගියේය. 2018 ඇරුඹෙන්නේද ට්‍රම්ප්ගේම විහිළු තවත් දුරදිග යෑමේ ප්‍රවණතාවක් සහිතවය. එයින් පාර කපා ඇත්තේ මෙතෙක් නොවූ විරූ ලෝක පෙරැළියකටය.

අළු යට ගිනි මෙන් සැඟව තිබූ පලස්තීන අර්බුදය නැවත ගිනි අවුළුවාලමින් ට්‍රම්ප් තමන්ගේ හිතූමතයට සිය හිතවතා වූ ඊශ්‍රායලයට පූජනීය නගරය වූ ජෙරුසලම සින්නක්කර ලියා දෙන්නට පියවර ඇරුඹුවේය. එය ලෝකය තුළ ඇතිකළේ මහා කම්පනයකි. දෙසැම්බර් 21 දා පැවැති එක්සත් ජාතීන්ගේ මහා සමුළුව තුළදී ලංකාවද ඇතුළුව රටවල් 128ක් ජනාධිපති ට්‍රම්ප්ගේ ඊශ්‍රායල් හුරතලය ප්‍රසිද්ධියේම අවඥාවට ලක් කළේය. ඔවුන් ජෙරුසලම ඊශ්‍රායලයට සින්නක්කර පවරා දීමේ යෝජනාවට එකහෙලා විරුද්ධ වූහ. කිම් ජොං උන් හැඳින්වූවාක් මෙන් ට්‍රම්ප් මෙයට උත්තර බැන්දේ ඔල්මාදයෙන් මෙනි. ඔහු ප්‍රසිද්ධියේ තරවටු කළේ එක්සත් ජාතීන්ට අමෙරිකාවෙන් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 285ක් වූ ආධාර නවතන බවටය. ඡන්ද විමසීමට පෙර සිටම අමෙරිකානු නියෝජිතවරිය නික් හීලි ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ ඡන්දයේ තීන්දුව ගැන පෞද්ගලිකවම උනන්දු වන බවට සාමාජික රටවල් අතරට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි. ඡන්දය 128 ට 9ක් ලෙස අමෙරිකානු අවශ්‍යතාව තුට්ටු දෙකට දැමීම හේතුවෙන් උරණ වූ ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මුළු අයවැයෙන් සියයට 22ක් පමණ වූ අමෙරිකානු දායකත්වය කපා හැරීමට කටයුතු කළේය. ඡන්දයට පෙර ඔහු වගාඩම්බර කීවේ විරුද්ධව ඡන්දේ දීලා බලමුකෝ. අපිට මොකද? අපේ අතේ ලොකු ගාණක් ඉතිරිවේවි. යනුවෙනි.

හිස්බුල්ලා - හමාස් එකතුව

ජෙරුසලම් දෙබරයට ට්‍රම්ප්ගේ ගල් ප්‍රහාරය එල්ලවීමත් සමග අරාබිය තුළ සතුරන් මිතුරු වී  එක්සත් පෙරමුණක් ගොඩනැගි තිබේ. ලෙබනනයේ ක්‍රියාත්මක ෂයිටි සටන්කාමීන් වන හිස්බුල්ලාවරුන් සහ පලස්තීනයේ සුන්නි මුස්ලිම් සටන්කාමී හමාස් සංවිධානය ට්‍රම්ප්ගේ ජෙරුසලම් කැකිල්ලේ තීන්දුවත් සමග එකට අත්වැල් බැඳගෙන සිටිති. ඊශ්‍රායලයට එරෙහිවය. හමාස්වරුන් මෙන්ම හිස්බුල්ලාවරුන්ද මෙතෙක් එකහෙලා පිළිගත්තේ ජෙරුසලම පලස්තීනයේ අගනගරය හැටියටය. එසේ වුවද ඔවුහු සිරියාවේදී දෙපිලක් ගෙන සටන් වැදුණේ සතුරු හමුදාවන් ලෙසටය. හිස්බුල්ලාවරු සිරියානු ජනාධිපති බසාර් අල් අසාද්ගේ බලය රඳවා ගැනීමට ඉරානය සහ රුසියාව සමග එක්ව අවි අතට ගත් අතර, හමාස් කණ්ඩායම 2011 පමණ සිට බසාර් අල් අසාද් බලයෙන් නෙරුපීමට අවි අතට ගත් කණ්ඩායම් සමග එක්ව සිටිති. කෙසේ වුවද ට්‍රම්ප්ගේ කැකිල්ලේ තීන්දුවත් සමග පසමිතුරැ සංවිධාන දෙක අමෙරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහි එක් පෙරමුණකට එන්නට තීන්දු කර තිබේ. මේ අනුව ලෝකයේ යුද පෙරමුණ අලුත් ඉලක්කයක් කරා යන ලකුණු පහළ වී තිබේ.

බාබා වැන්ගාගේ අද්භූත අනාවැකි

2001 අමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයත්, 2004 සුනාමියත්, පසුගිය වසරේ කවුරුත් නොසිතූ ලෙස ට්‍රම්ප් ජනාධිපති ධුරයට පැමිණීමත්, බ්‍රිතාන්‍ය යුරෝපයෙන් කැඩීයාමේ බ්‍රෙක්සිට් පලහිලව්වත් ගැන කලින්ම කියා තිබූ බාබා වැන්ගා නමැති අනාගතය දකින්නිය එළැඹෙන 2018 ගැන පළකර ඇත්තේ පෙරළිකාර අදහස්ය.

ඇයට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය තුළ අමෙරිකාව ලෝකයේ අංක එකට නොව වළපල්ලට ඇද වැටෙන්නට නියමිතය. ඒ වෙනුවට ලෝකයේ සුපිරි බලවතා බවට පත්වන්නේ චීනයයි. බබා වැන්ගා මේ කියන කතාව ලෝකයේ ආර්ථික විශේෂඥයන්ද දේශපාලන විචාරකයන්ද දැනටමත් තහවුරු කර තිබේ.

2015 දී අමෙරිකාව ලෝක ආර්ථිකය සඳහා සියයට 16.7ක දායකත්වයක් ලබාදී තිබූ අතර 2025 වනවිට එය සියයට 14.9 දක්වා පහළ බසිනු ඇති බව ෆෝබ්ස් වාර්තා කරයි. එසේම ඔවුන් පෙන්වා දෙන්නේ 1970 වනවිට සියයට 4.1ක්ව තිබූ චීන ආර්ථික දායකත්වය 2015 වනවිට අමෙරිකාව මට්ටමට එනම් සියයට 15.6ක් දක්වා වර්ධානය වී ඇති අතර එය තවත් ඉහළ නගිමින් තිබෙන බවය.

බබා වැන්ගා දෙවැනුව පෙන්වා දෙන කාරණය නම් ලෝකය අලුත් බලශක්ති ප්‍රභවයක් සොයාගන්නා බවය. ඒ හේතුවෙන් මෙතෙක් පැවැති තෙල් ආර්ථිකයට කණකොකා හඬන බවය. සුපිරි තෙල් බලවතුන්ගේ හොට බිම ඇනෙන බවය. මේ නව සොයාගැනීම සිකුරු ග්‍රහයා ආශ්‍රිතව සිදුවන බව ඇය කියයි. නාසා ආයතනය 2018 ජූලිවලදී සිකුරු බලා යන්නට තීන්දු කර තිබේ. කලින් ගිය ගමන් වාර දෙකම ප්‍රතිඵල රහිතවූවකි. නමුත් ඉදිරි ගමන සුවිශේෂී වනු ඇත. බාබා වැන්ගාට අනුව ලෝකයෙන් කුසගින්න තුරන් කර දැමීම ඇරුඹෙන්නේද මේ වසරේදීය. ලෝක දේශපාලනය උඩු යටිකුරු වන අතර, පරිසර හා කාලගුණික කලබැගෑනිද ඉහළ යනු ඇත. යුද්ධය පිල් මාරුවනු ඇති බව ඇය පෙන්වා දෙයි. මේ වනවිට මේ සිදුවීම් සඳහා පාර කැපෙමින් පවතියි. මුළුරටම ඔහු ගැන බලාපොරොත්තුව තබනු ඇත. නමුත් ඔහු ඒ සියල්ල සුනුවිසුණු කරනු ඇත යයි බාබාවැන්ගා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැගීම ගැන කියා තිබේ. දැන්ම එය සනාථ වී හමාරය.

බල්ලාගේ අවුරුද්ද

ලෝකයට 2018 කෙසේ වුවද චීනයට නම් එය බල්ලාගේ අවුරුද්දය. පැරුණි චන්ද්‍ර මාස ක්‍රමයට අනුව අවුරුද්ද ගණනය කරන චීනයට අනුව එළැඹෙන අවුරුද්දට නම්කර ඇති සත්ත්වයා බල්ලාය. අපූරු කාරණයක් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් උපත ලබා ඇත්තේද බල්ලාගේ අවුරුද්දකදී වීමය. එනම් 1946දීය. මේ සමානකම එකට ඈඳාගත් ෂැන්ෂි ප්‍රාන්තයේ තායි යුවාන් නගරයේ වෙළඳ මධ්‍යස්ථානයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාන බල්ලෙකුගේ යෝධ අනුරුවක් සිය වෙළඳසල ඉදිරිපිට පිහිටුවා තිබේ. ට්‍රම්ප්ගේ ඔහුටම ආවේණික වූ කොණ්ඩා මෝස්තරයත්, දබර ඇඟිල්ල දිගු කරමින් කතාකරන ඔහුගේ හැසිරීමත්, නිතර පළඳින රතු ටයි පටියත් බලුරුවටද එසේම හිමිකර දී තිබේ.

චීනය හා ළඟ සබඳතාවක් ගොඩනැගීමට ට්‍රම්ප් සිය පසුගිය සවාරියේදී ලොකු උත්සාහයක යෙදිනි. ට්‍රම්ප්ට චීනයේදී මහා පිළිගැනීමක්ද ලැබුණි. නමුත් චීනය ට්‍රම්ප් දකින්නා වූ නියම ආකාරය ලෝකයට නොකියා කියන්නට 2018 බලු වසර ඔවුන් යොදාගෙන තිබෙන හැඩය.

පුටින් රජවෙයි

2018 දී පුටින් නැවත බලයට පැමිණෙන බව දැන් තහවුරු කර හමාරය. මේ වනවිට ඔහුට එරෙහිව තිබූ ලොකුම බාධකය වන නවාල්නි රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණ තහනමකින් තරග බිමෙන් ඉවත්කර හමාරය.

පුටින්ගේ නැවත පැමිණීම රට රාජ්ජ ගණනාවකටම අසුබ බලපෑමක් වනු ඇත. මොන්ටෙනිග්‍රෝ, ලිතුවේනියා, ලැට්වියා ඇතුළු පැරැණි සෝවියට් සමූහාණ්ඩුවේ රටවල් ගණනාවකට නරක කල දසාවක් උදා වන්නට නියමිතය. බටහිර සහ රුසියානු භූමිය අතර සජීවී බාධකයක් ලෙස මේ රටවල් පවත්වාගෙන යාමට පුටින් කටයුතු කරනු ඇත. නැගෙනහිර යුක්රේනය තවදුරටත් රුසියාව තුළම ගිලගනු ලබන අතර දකුණු ඔසේෂියාව, ඇබ්කාෂියාව සහ ජෝර්ජියාවද රුසියාව විසින් ගිලගනු ඇත. පුටින්ගේ මීළඟ පාලන කාලය තුළදී රුසියාවේ සීමා මායිම් පෙර නොවූ විරූ වේගයකින් ඉවතට ඇවිද යමින් අන් රටවල් සිය භූමියට ඇඳා ගන්නට කටයුතු කරනු ඇත.

ලෝකයේ පෙරැළියක්

බොහෝ වාර්තාවන් පෙන්වා දෙන්නේ 2018දී මැදපෙරදිග යුද්ධ තත්ත්වය උඩුයටිකුරු වන බවය. සිරියාවට සාමය උදාවන අතර, එසේ වුවද අසාද්ට එරෙහි විප්ලවීය යුද්ධය තවතවත් අසාධ්‍ය ලෙස පැතිර යන්නට නියමිතය. අමෙරිකාවේ මැදපෙරදිග එක්සත් සාම යෝජනාවටද අසුබ දවසක් ලැබීමට නියමිතය.

අමෙරිකාව මැදපෙරදිග යුද භූමිය අතහැර අප්‍රිකානු භූමියට අතපොවනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. ඔක්තෝබරයේ නයිජර් මාලි දේශසීමාව අසලදී අමෙරිකානු හමුදා නිලධාරීන් 4ක් මියයාමත් සමග තමන්ට අනාරක්ෂිත අප්‍රිකානු භූමිය වෙත අමෙරිකානු ඇස යොමුව තිබේ. දැනටමත් අප්‍රිකානු මහාද්වීපය තුළ අමෙරිකානු හමුදා භටයන් 6000කට ආසන්න  සංඛ්‍යාවක් සිටිති. ඉදිරියේදී මේ තත්ත්වය ඉහළ යන්නට නියමිතය.

සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරා වන මොහොම්මඩ් බින් සල්මාන්ට කලින්ම රජකම හිමිවනු ඇති බවට මතයක් පළව තිබේ. රට තුළ නවීකරණයක් ඇති කරමින් අලුත් ලෝකය සමග එක්වන්නට යන මොහොමඩ්හට රටේ තරුණ පරපුරේ ලොකු පිළිගැනීමක් පවතී. මේ වනවිට 82 වැනි වියේ සිටින රජතුමාද තමන්ගේ සිත්ගත් මේ පුත්‍රයා ඉක්මනින් රජවනු දැකීමේ කැමැත්ත පළකර තිබේ. ඒ අතර සවුදිය සහ ඊශ්‍රායලය අතර සබඳතා තර වනු ඇත. ඉරානයට එරෙහි යුද්ධය එහෙයින් නව මුහුණුවරක් ගන්නට නියමිතය.

2015 වසරේ සිට යේමනයේ හටගත් සිවිල් යුද්ධය හේතුවෙන් එරට තුළ සිදුව ඇති අමානුෂික විනාශය තවදුරටත් ඉහළ යනු ඇත. හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සලේ මේ මස මුලදී ඝාතනයට ලක්වීමත් සමග එරට තුළ සාමය උදාව පිළිබඳ බලාපොරොත්තුව බිඳ වැටී තිබේ.

අයිසීස් තර්ජන යුරෝපයට - ආසියාවට

අයිසිස්වරුන් ප්‍රමුඛ මූලධර්මවාදීන්ගේ තර්ජන යුරෝපය පුරා මෙන්ම අග්නිදිග ආසියාව පුරා පැතිර යනු ඇත. ඉරාකයේ පරාජය හමුවේ ලෝකයේ වෙනත් ප්‍රදේශ කරා ISIS අවධානය යොමුව තිබේ. ඒ අනුව 2018 වසර යුරෝපා රාජ්‍යය තුළ වැඩියෙන් බෝම්බ පුපුරා යන වසරක් බවට පත්වීමට නියමිතය. ඒ අතර දැනටමත් මැලේසියාව මූලික කොට අරඹා ඇති අයිසිස්වරුන්ගේ ආසියානු පෙරමුණේ ප්‍රහාර අග්නිදිග ආසියව පුරා පැතිර යන්නට නියමිතය. ලිබියාව සහ ඊජිප්තුවද ISIS ත්‍රස්තයන්ට සරු ගොදුරු බිම් බවට පත්වන්නට නියමිතව තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00